spot_img
spot_imgspot_img

දේශීය, හෙළ ඔසු ලේබල්වලට රැවටී සියදිවි නසාගන්නා ශ්‍රී ලාංකිකයෝ

පුවත්

විදෙස්

වෙළෙඳ පොළට ගිය විට තමන්ට අවශ්‍ය භාණ්ඩ අතරින් හොඳ භාණ්ඩ තෝරාගැනීමටත් නරක්වූ හෝ කුණු වූ හෝ වෙනයම් ආකාරයකින් නුසුදුසු භාණ්ඩ නොගෙන සිටීමේත් අපූරු හැකියාවක් භාණ්ඩ මිල දී ගන්නා බොහෝ දෙනකුට තිබේ.

නමුත් ජීවිත ඇතිකරන්නට හෝ නැතිකරන්නට සෘජුවම දායකවන ඖෂධ හා ආහාර අතිරේක කියමින් ලේබල් ගසා විකුණන විවිධ නිෂ්පාදන අතරින් තමන්ට සුදුසු හා නුසුදුසු දේ තෝරාගැනීමට අපේ වැඩි දෙනෙකු කිසිදු හැකියාවක් නැත.

බොහෝ දෙනකු අද වනවිට කිසිදු වග විභාගයකින් තොරව Facebook, Youtube සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන් හේතුවෙන් කිසිදු වැදගත්කමක්, ඖෂධීය වටිනාකමක් හෝ ප්‍රමිතියක් නැති නිෂ්පාදන මිල දී ගැනීමට පෙළඹී සිටිති.

ඔවුන් ඉවක් බවක් නැතිව කිසිදු විමසීමක්, වගවිභාගයක් හෝ විචාරයක් නොමැතිව පුවත්පත් දැන්වීම්වල පටන් සියලුම ප්‍රචාරක කටයුතුවලට රැවටී හර්බල්, දේශීය, පාරම්පරික, රාවණ පරපුර, හෙළ ඔසු යන ලේබල් වලට රැවටී නිෂ්පාදන මිල දී ගනිති.

අවම වශයෙන් මේ නිෂ්පාදනවල අඩංගු දේ කුමක්දැයි බලන්නේ නැත. ඒවාට අවශ්‍ය අනුමැතිය තිබේදැයි විමසන්නේ නැත. නිෂ්පාදනය නිශ්චිත ප්‍රමිතියකට තිබේදැයි සොයන්නේ නැත.

ශ්‍රී ලංකාවේ අළෙවි වන බටහිර ඖෂද සම්බන්ධයෙන් නම් පැහැදිලි ක්‍රමවේදයක් සකස්වී තිබේ. මෙරට ඖෂධ පාලන අධිකාරිය එම ක්‍රමවේදයේ පරමාදර්ශය නොවූව ද අවම වශයෙන් ගුණනාත්මක ඖෂධ ලබාදීමටත්, කල් ඉකුත්වූ, භාවිතයට අහිතකර ඖෂධ ඉවත්කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

නමුත් දැන් විලාසිතාවක් වී ඇති සහ සමාජ මාධ්‍ය ජාලා පවත්වාගෙන යන්නන්ට සහ ඇතැම් නිෂ්පාදකයන්ට සල්ලි ගැරීමේ ආකරයක් වී ඇති දේශීය ලේබලය යටතේ යන නිෂ්පාදනවලට එවැනි නියාමනයක් නැත.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු බොහෝ රටවල දක්නට ලැබෙන තත්ත්වයකි.

ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ද යන ප්‍රශ්නාර්ථයක් ඇති, සාර්ථක බව පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් නැති, පර්යේෂණ කාර්යයන් සඳහා දායක වූවේ ද යන්න පිළිබඳ හෝ නොදන්නා බොහෝ දේශීය ඖෂධ ඇතුළු නිෂ්පාදන රැසක් දැවැන්ත ප්‍රචාරයක් සහිතව වෙළෙඳ පොළට පැමිණ දැන උගත් හො ලොකු කුඩා කොයි කාගේත් සිරුරුවල ගිලෙන්නට පටන්ගෙන තිබේ.

මෙැවනි ඖෂධ විවේචනයට ලක්වන සෑම අවස්ථාවක ම ඒවායේ නිෂ්පාදකයන්ට අපූරු පිළිතුරු තිබේ. ඔවුන් පවසන්නේ බටහිර ගැත්තන් විසින් ඔවුන්ට පහර දෙන බවයි. දේශීයත්වය අගයන්නේ නැති පිරිසක් බොරු ප්‍රචාරය කරන බවයි. ඔවුන්ගේ ඖෂධ හෝ වෙනත් නිෂ්පාදන ප්‍රශ්න කරන විට එවැනි නිෂ්පාදනවලට රැවටුණු පුද්ගලයන්ගේ ද සහායෙන් එවැනි ප්‍රචාර කරනවා විනා කිසිදු නිෂ්පාදකයකු තම නිෂ්පාදනයේ සාර්ථකත්වය සම්බන්ධ කරුණු දක්වන්නේ නැත.

නමුත් මෙවැනි ඖෂධවල සාර්ථකත්වය පිළිබඳ දශක ගණනාවක සිට සමාජය තුළ ප්‍රශ්නකාරී වූ අවස්ථා එමට තිබේ. එසේ වුවද තමන්ට ලැබෙන දැවැන්ත ප්‍රචාරක මුදල් හා දේශීය ලේබලයේ වටිනාකම නිසා කිසිදු මාධ්‍යයක් එවැනි දේ ගැන ප්‍රචාරය කරන්නේ ද නැත.

ලෝකයේ ඖෂධ පාලනය සම්බන්ධ මූලික සිද්ධාන්ත කිහිපයක් තිබේ. ඒවා ශ්‍රී ලංකාවේ ද පිළිගෙන ඇත.

ඒ අතරින් ප්‍රධාන වන්නේ සෑම ඖෂධයක් ම රාජ්‍ය අනුමැතිය සහිතව ලියාපදිංචි වී තිබීමයි. එලෙස ලියාපදිංචිකිරීමේ දී ඖෂධයේ තත්වය, ආරක්ෂාසහිත බව, සඵලතාව, එහි සැපයුම යන කරුණු කෙරහිි අවධානය යොමුකරයි.

එමෙන් ම එය වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක් ලබාගත යුතු නිෂ්පාදනක් ද නැතිනම් පාරිභෝගිකයාට තම අභිමතය පරිදි ලබාගත හැකි නිෂ්පාදනයක් ද යන්න පිළිබඳව ද අවධානය යොමුකරයි.

නමුත් ශාක සාර නිෂ්පාදන ලෙස වෙළෙඳ පොළට එන කිසිවකට මෙම කරුණු අදාල නැත. ඒ නිසා මේ ඖෂධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ද ගැටලුවක් වී තිබේ.

ඖෂධයක් සඳහා අනුමැතිය දිමේ දී එම ඖෂධය භාවිතා කරන සෞඛ්‍යමය තත්ව පිළිබඳ පැහැදිලි නිර්දේශයක් තිබිය යුතුය.

මේ සියල්ල බටහිර ඖෂධ නිෂ්පාදන සඳහා අදාල වුව ද තවමත් ලෝකයේ සංසරණය වන බටහිරි ඖෂධවලින් 5%ක් පමණ ව්‍යාජ ඖෂධ බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. එමෙන්ම ඖෂධ සම්බන්ධයෙන් දැඩි පාලනයක් නොමැති රටවල එම ප්‍රතිශතය 50%ක් තරම් ඉහළ අගයක් ගනී.

ශාක සාර ඖෂධ හා දේශීය ඖෂධ යන ලේබලය අලවා දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් සිදුකරන වෙළෙඳාමේ තත්ත්වය ගැන කතාකිරීමට නොහැකි තරමට ගැටලු රැසක් පවතී.

මේ ඖෂධ බොහොමයක් සැබැවින් ම ඖෂධ නොවේ.

විවිධ ආකාරයෙන් ලියාපදිංචි වී ඇති එම ඖෂධ බොහොමයක් නීත්‍යානුකූලව ඖෂධය නිෂ්පාදනය කරයි. නමුත් එහි ලේබලයේ ඇති කරුණු අසත්‍ය වේ. තවත් අවස්ථාවක දී අන්තර්ගත ද්‍රව්‍ය නිවැරදි වුව ද නිෂ්පාදනයේ දී තත්ත්වයෙන් බාල ද්‍රව්‍ය යොදා ගනී.

ඇතැම් නිෂ්පාදනවලට යොදා ගන්නේ එහි අඩංගුවිය යුතු ද්‍රව්‍ය නොව වෙනත් ද්‍රව්‍යයන්ය. ඇතැම් විට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරයි. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ඇතැම් ශාකසාර ඖෂධ සඳහා බටහිර ඖෂධ කළවම් කිරීමයි.

මෙවැනි විවිධාකාරයෙන් නිෂ්පාදනය කර සමාජ මාධ්‍ය මෙන්ම මහා මාධ්‍ය ඔස්සේ ද දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් “විස්මිත නිෂ්පාදනක්” “දිව ඔසුවක්” “පුරාණ වට්ටෝරු අනුව සැකසුණු” “හෙළ රහස් බෙහෙතක්” වැනි ලේබල් අලවා ජනතාව අතට පත්කරන ඖෂධ පිළිබඳ කතාන්තරය ඇරඹෙන්නේ අද ඊයේ නොවේ. ඒ අප රටෙන් පමණක් ද නොවේ.

මෙවැනි ඉතාමත් භයානක අත්දැකීමක් ලැබුවේ බටහිර ජර්මනියයි.

සිත් පීඩා නැතිකරන ඖෂධයක් ලෙස ඔවුන්ගේ එක්තරා දේශීය ඖෂධයක් සම්බන්ධයෙන් 1956-60 කාල‍යේ දී විශාල ප්‍රචාරයක් ගෙන යන ලදී. මේ ප්‍රචාරයෙන් කියවුණේ ගැබිනි මව්වරුන්ට ද එය දිව ඔසුවක් වන බවයි. එසේම සියදිවි හානිකර ගැනීමට සිතන අයටත් ඉන් මුදවාලන්නට එය හොඳ ඖෂධයක් බවත් ප්‍රචාරය විය. මෙම ඖෂධය වේගයෙන් ජනප්‍රිය වූ අතර වෛද්‍ය නිර්දේශ නොමැතිව එය බොහෝ දෙනෙක් පානය කළහ.  

ප්‍රතිඵලය ලැබෙන්නේ 1960 වර්ෂයෙන් පසුවය. විවිධ ප්‍රදේශවලින් අත් හා පාදවල විකෘති සහිත දරුවන් උපතලබන බව දක්නට ලැබිණි. පසුව විද්‍යාඥයන්ගේ පර්යේෂනවලින් තහවුරු වූයේ ගැබිනියක සිටිය දී මව්වරුන් විසින් භාවිතා කර තිබූ සිත සන්සුන් කරන ඉහත කී ඖෂධය ද‍රුවන්ගේ මේ අමුතු රෝගයට හේතුවී ඇති බවයි. බටහිර ජර්මනියේ සෞඛ්‍ය අංශ සංඛ්‍යා ලේඛන අනුව මේ ආකාරයට විකලාංගතාවෙන් යුතුව බිහිවූ දරුවන් ගණන 10,000ක් පමණ වෙයි. ඉන් 5,000ක් පමණ මිය ගියහ.

බ්‍රිතාන්‍යයේ ද ඇතැම් මව්වරු මේ ඖෂධය පානය කර තිබූ අතර එහි උපතලැබූ එවැනි දරුවන් 600කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබිණි. ඉන් 200ක් පමණ ටික දිනකින් ම මිය ගියහ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා බොහෝ රටවල කිසිදු ආකාරයක ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් හෝ යම් අසනීපයකට හෝ සෞඛ්‍ය තත්වයක් සඳහා භාවිතා කිරීම සුදුසු යැයි පවසමින් ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ද තත්ත්වය එයයි. නමුත් දේශීය ඖෂධ ලේබලයෙන් විවිධ නිෂ්පාදන අළෙවි කරන පුද්ගලයෝ දැන් දැන් ඒ සම්බන්ධ දැවැන්ත ප්‍රචාර සිදුකරති.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා, වකුගඩු ආබාධ, කොලෙස්ටරෝල්, තරබාරුකම, අධික වෙහෙස, විඩාව, සෙම ආදී සෞඛ්‍යමය ගැටලු සදහා ඖෂධ ලබාගැනීම කළ යුතු වන්නේ වෛද්‍යවරයකුගේ නිර්දේශය ඇතිව පමණි.

නමුත් ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳ පොළ දෙස බැලූ විට පෙනී යන්නේ ශාක සාර හා දේශීය ලේබලය ඇළ වූ ඖෂධ, පානයන්, ආහාර අතිරේක මෙවැනි සෞඛ්‍ය ගැටලු සඳහා නිෂ්පාදනය කරමින් බෙදාහරින බවයි.

අලුත්වල එක්තරා දේශීය වෙද ගෙදරක් ලෙස පවත්වාගෙන යන පාරම්පරික වෛද්‍යවරියක් ප්‍රතිශක්තීකරණ ඖෂධයක් සඳහා ආයුර්වේද අනුමැතිය ලබාගෙන එය කොරෝනා සඳහා සුුදුසු ප්‍රතිකාරයක් බව පවසමින් නීති විරෝධී ලෙස ප්‍රචාරය කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයකු තමන් දේශීය ශාකසාර භාවිතයෙන් කොරෝනා සඳහා සුදුසු ඖෂධයක් සෑදූ බවට දැවැන්ත ප්‍රචාරයක් කරමින් එය අළෙවි කරන්නේ අධික මුදලකටය. නමුත් ඔහු එවැනි කිසිදු ඖෂධයකට අනුමැතිය ගෙන නැති අතර එහි ලේබලයේ සඳහන් කර ඇත්තේ එය ආහාර අතිරේකයක් බවයි. නමුත් දහස් සංඛ්‍යාත පිරිසක් මේ නිෂ්පාදනය මිල දී ගනිති.

මේ වනවිට ශ්‍රී ලංකාවේ මේ දේශීය ලේබලය අලවාගත් ඖෂද අන්තර්ජාලය ඔස්සේ පවා ඇණවුම් කළ හැකි තත්ත්වයට පත්ව ඇත.

දියවැඩියාව, කොලෙස්ටරෝල් නසන ඖෂධ මෙරට ඇති හාල්කඩවලින්, රූපලාවන්‍යාගාරවලින් පමණක් නොව කොමියුනිකේෂන්වලින් ද මිල දී ගත හැකි තත්වයට පත්ව තිබේ.

Youtube නාලිකා කරුවන් කිහිප දෙනකු ද තම වීව්ස් වැඩිකරගනිමින් දේශීය ලේබලයේ ඖෂධ ගැන දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙන්නේ කිසිදු වගක් විභාගයක් නොමැතිවය. රැවුල සහ කොණ්ඩය වවාගෙන සුදු පිරුවට හැඳ, මුදු කිහිපයක් පැළඳ සිටි පමණින් ‍රාවණ පරපුරේ දේශීය පාරම්පරික වෙදකු බවට පත්වන ඕනෑම හොරකුට ඔවුහු කිසිදු විචාර බුද්ධියකින් තොරව ප්‍රචාරය දෙති.

ටයි කොට් පැළඳ තමන් වෛද්‍ය, ආචාර්ය, මහාචාර්ය බවත් එහෙත් දේශීය වෙදකම තමන් ඉගෙනගත් ශිල්පයට වඩා බොහෝ දුරින් තිබෙන්නේ යැයි කියා කෙබර කෙලින හොරුන්ටත් මොවුන් වගවිභාගයකින් තොරව ප්‍රචාරය දෙති.

මේ සියල්ලට රැවටෙන දේශ මාමකත්වයෙන්, ජාති අල්‍යයේන ඔඳ වැඩී සිටින ජනතාව ‍ඒ සියලු දේ ගිලිති. අවසානයේ ඔවුන්ට සිදුවන දේ පිළිබඳ කිසිදු පසු විපරමක් නැත.

ඖෂධයක් සඳහා වෙළෙඳ ප්‍රචාරයක් කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැත. ඒවා හඳුන්වාදිය හැක්කේ වෛද්‍යවරුන්ට පමණි. වෛද්‍යවරයකුට අවශ්‍ය වන්නේ එම ඖෂධයේ ආරක්ෂා සහිත බව මෙන් ම, සාර්ථක බව පරීක්ෂණාත්මකව තහවුරු කර තිබේ ද යන්න පමණි. රෝගියකුට ඖෂධයක් හෝ ඖෂධමය ආහාර අතිරේකයක් ලබාදිය යුතු වන්නේ වෛද්‍යවරයකු විසින් පමණි.

නමුත් සිදුවන්නේ නීති විරෝධීව, අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයක් කරගෙන යාමයි. ඒවායේ දී දක්වන්නේ “පුරාණ පාරම්පරික ඖෂධ”, “ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින්ද තහවුරු කර ඇති” “100% ශාක සාර” “අතුරු ආබාධ නැත” “රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු කර ඇත” “අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි” “ උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදිතයි” “රජයේ අනුමත” යන කිසිදු සත්‍යතාවකින් තොර වැකි කිහිපයකි. මේ සියල්ල මෙරට අළෙවිවන අනවසර දේශීය ඖෂධ වෙළඳාමේ භාවිත පොදු වාක්‍යයන් ය.

නමුත් මේ පිළිබඳ වගකිව යුතු අයගේ අවධානය යොමු වන්නේ නැත. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තිබේ. ඔවුන් කළ යුත්තේ මුට්ටි ග‍ඟේ දැමීම, කාලි අම්මාගේ පැණි සොයා යාම වැනි මිත්‍යාවන් පසුපස යාම නොව මෙරට වෙළෙඳ පොළේ ඇති දේශීය ලේබලය අලවා ගත් හොර නිෂ්පාදන වාරණ කර දේශීය ක්‍රමවේද භාවිතා කරමින් වඩාත් ප්‍රමිතියනේ උසස් සාර්ථක ඖෂධ නිෂ්පාදනයක් දිරිගැන්වීමය.

නමුත් එවැන්නක් තවත් වසර ගණනාවකට හෝ සිදුවන බවක්නම් පෙනෙන්නට නැත. එවැන්නක් සිදු නොවන තුරු වෙන්නේ ශාක සාර සහ දේශීය ලේබලය අලවාගෙන ඇති ඖෂධ ගන්නා ජනතාව සිය කැමැත්තෙන්ම සියදිව නසා ගැනීමයි.

(සජීව විජේවීර)

1 COMMENT

  1. ජනතාවගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම මත දීර්ගකාලීනව සිදුවන අපරාධයක් පිලිබඳ විමර්ශනාත්මක විග්‍රහයක්. ස්තුතියි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!