spot_img
spot_imgspot_img

“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා‍ නොකරන ලෙසත් දක්වමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය ඊයේ (22) වාරණ නියෝගයක් නිකුත් කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිිකරණය හමුවේ පෙනී සිටින ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු 14 දෙනකු වගඋත්තරකරුවන් ලෙස එම ‍පෙත්සම මගින් නම්කර තිබිණි.

මෙම පෙත්සම සළකා බැලූ දිසා විනිසුරුවරයා සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල හොබවන සියලු දෙනාට තවදුරටත් එම සංගමයේ නිල නාම භාවිතා කරමින් කටයුතු කිරීම හෝ එම සංගමය වෙනුවෙන් පෙනී සිටීම හෝ නොකරන ලෙස වාරණ නියෝගයක් නිකුත් කළ අතර ස්වාධීන කමිටුවක අධීක්ෂණය යටතේ එහි නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ද නයෝග කරන ලදී.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුරට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාරදුන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනාව නාමයෝජනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට නිලවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාව දියයුතු යැයි ද දිසා විනිසුරුවරයා ඊයේ (22) නියෝග කළේය.  

එමෙන්ම නිලවරණයේ විනිවිද බව සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට එය අතුරු පාලක මණ්ඩලයක් හරහා පැවැත්විය යුතු බවට ද තීන්දු කළේය .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ප්‍රකාශ කිරීමත් සමගම අතුරු පාලක මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු බවත් එය ස්ථාපිත කිරීමත් සමඟ දැනට තනතුරු හොඹවන සියලු දෙනාගේ තනතුරු අහෝසි වන බව අධිකරණය තීන්දු කළේය.

මෙම පැමිණිල්ල සිදුකරන ලද වෛද්‍ය චමල් සංජීව ද රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ තනතුරක් සඳහා නාමයෝජනා භාර දී සිටින අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!