spot_img
spot_imgspot_img

අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී යයි

පුවත්

විදෙස්

ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 08 ස්ථානයෙන් පන්දුවට පහරදුන් පිතිකරුවන් අතරින් දෙවැනි වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියමින් දීපාක් චහාර් නොදැවී ලබාගත් ලකුණු 69 හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හැරී තිබූ ජයග්‍රහණය කඩුළු 03ක් අතැතිව හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ (20) සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09කට ලකුණු 275ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ගොස් එම ඉලක්කය සම්පූර්ණ කරගත්තේ පන්දුවාර 49.1කිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය

ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය මෙම තරඟයේ අවසන් පන්දුවාර කිහිපය වනතුරු තරඟයේ වැඩි වාසිය හිමිව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටය.

වනිඳු හසරංග සහ දසුන් ශානකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය පළමු කඩුලු 5 ම ලකුණු 116 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත්විය. දීපාක් චහර් පන්දුවට පහර දීමට පැමිණෙන විටත් තරගයේ සියළුම වාසීන් ශ්‍රී ලංකා පිලට දෙසට හැරී තිබූ නමුත් එතැන් පටන් පන්දු යවන්නන් කැඳවීමේ සිට ඔවුන් පිළිබඳව තැබූ විශ්වාසය රකිමින් පන්දු යැවීමට ඔවුන් අසමත්වීම මත ඈතට ගොස් තිබූ ජයග්‍රහණයට ඉන්දීය පිල කෙමෙන් කෙමෙන් ළඟා කර දීමට චහර් සමත්විය.

තරගයේ පාලනය අතට ගැනීමට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම වූ සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වුවද පසුව ඔහුගේ රිද්මය ගිලිහී ගොස් තිබිණි. සඳකැන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 71 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 275 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

එහිදී කැපී පෙනුණු චරිත් අසලංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ සිය මංගල අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමඟින් අසලංක ලකුණු 65 ක් ලබා ගත්තේය. එහිදී වඩාත්ම වැදගත් වූයේ ඉනිමේ අවසන් පන්දුවාර 3 එළඹෙන තෙක්ම අසලංක කඩුල්ලේ රැඳී සිටීමයි

ඔහුට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 50 ක් ලබාගත්තේ එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

පෙර තරගයේ පරිදිම පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ භුවනේෂ්වර් කුමාර්ට එරෙහිව අවසන් පන්දු දෙක තුළදී පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 44 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. ඔහු මුහුණ දී තිබුණේ පන්දු 33 කට පමණි. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චාමික පළමු තරගයේදීද පන්දු 35 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකා පසු පෙළ ශක්තිමත් කළේය.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් චාමික කණ්ඩායමට එක් වුවත් ඔහුගේ පළමු එක්දින තරග 5 ඇතුළත ඔහු ලකුණු 138 ක් රැස් කරගැනීමට සමත්ව සිටින්නේය.

මේ සෑම අවස්ථාවකදීම ඔහු අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ රැස් කරන ලද ලකුණු වේ. ඒ අනුව සිය ජාත්‍යන්තර තරග දිවිය ආරම්භයේ අංක 8 පිතිකරණ ස්ථානයෙන් හෝ ඊට පහළින් පැමිණ පළමු තරග 5 දී වැඩිම ලකුණු රැස් කිරීමට සමත් පිතිකරුවන් අතර චාමිකට හිමිවන්නේ තෙවැනි ස්ථානය වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙපළක් වන ඇන්ඩ්‍රෙ රසල් (147) සහ ඩිනේෂ් රාම්ඩීන් (143) චාමිකට ඉදිරියෙන් පසුවෙන පිතිකරුවෝ වෙති. සමස්ථයක් ගත් විට පළමු පන්දුවාර 40 වන තුරු ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සමත් වීම නිසා තෙවැනි පවර් ප්ලේ අවස්ථාවට හිමි අවසන් පන්දුවාර 10 තුළදී කඩුලු දැවී ගියද ලකුණු 80 ක් රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!