spot_img
spot_imgspot_img

තැන තැන කොරෝනා පොකුරු. අවදානම අවසන් නෑ

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් යළි කොරෝනා පොකුරු කිහිපයක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පැහැදිලි වෙයි.

කොරෝනා තුන්වැනි රැල්ල අවසන් වෙමින් පවතින බවට ජනතාව අතර මතයක් තිබුණ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එවැනි අඩුවක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩකින් පමණ අඩුවී තබෙන බව ද ඔවුහු පෙන්වා දෙයි. ඊයේ (18) දිනයේ කොරෝනා ආසාදිතයන් 1430ක් වාර්තා වී ඇති අතර සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,477කි. සිදුකර ඇති පීසීආර් පරීක්ෂණවලින් 11.38% කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ අතර ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (18) දිනයේ ආසාදිතයන් 40ක් වාර්තා වී ඇත. එම පිරිස අතර නිරෝධායනය වෙමින් සිටින පිරිස්වලට අමතරව අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත බව තහවුරු වූ පිරිසක් ද සිටින බව වාර්තා වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මීට මාස දෙක තුනකට පෙර මෙන් නොව ආසාදිතයකුගේ ආශ්‍රිතයන් නිරෝධායනය වීමේ වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබෙන බවයි.

මේ අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ජූලි 17 සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 87කින් 48 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 55.17% ප්‍රමාණයකි. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකර සිටි අය බවයි.

මේ අතර ගාල්ලේ සිට කතරගම පෙරහැරට සහභාගී වීමට ගිය නැටුම් කණ්ඩායමක 15 දෙනෙකුට සහ මාතර සිට එහි ගිය පන්දම් කරුවන් 04 දෙනකුට ද කොරෝනා ආසාදිත බව ඊයේ (18) තහවුරු වී තිබිණි.

මේ ගාල්ල දිස්ත්‍රික්කයේ තත්වයයි. ඊට අමතරව රට පුරාම තැන තැන කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ම දත්ත විවරණය කරන විට පෙනී යයි

බදුල්ලේ උඩවෙල ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 20ක් පසුගිය 17 වැනි දින වාර්තා වූ අතර ජල ව්‍යාපෘතියක ඉදිකිරීම් සඳහා පිට ප්‍රදේශවලින් එහි පැමිණ සිටි 04 දෙනකු ද සහිතව එම ගම්මානයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 24 දෙනෙකි.

මැදිරිගිරියේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් සඳහා කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූයේ එහි සිටි 124 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

මීට අමරතව පස්සර බ්‍රානිවත්තෙන් කොරෝනා ආසාදිතයන් 41ක් වාර්තා වී තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ කොරෝනා වසංගතය තවමත් අවසන් නැති බවයි. තැන තැන හමුවන කොරෝනා පොකුරු අනුව පෙනී යන්නේ අවදානම තවමත් පවතින බවයි.

මේ හේතුවෙන් මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය තබාගැනීම, දෑත් පිරිසිදු කිරීම, සංචරණය හැකිතාක් සීමා කිරීම යන සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!