spot_img
spot_imgspot_img

සිංහල භාෂාවේ කාලීන වෙනස්වීම් පණ්ඩිතයන්ට වළක්වන්න බෑ

පුවත්

විදෙස්

තරුණ පරපුර මේ වනවිට සිංහල භාෂාවෙන් ඈත්වෙමින් සිටින බව බොහෝ දෙනෙක් චෝදනා කරති. ඔවුන් නිර්ලජ්ජිත ලෙස භාෂාව විකෘති කරමින් සිටින බව ද ඇතැමුන්ගේ මතයයි.

සමාජයේ කාලීන වෙනස්කම් අනුව භාෂාව ද වෙනස් වන බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබේ. ‍මේ මතවාද සියල්ල හමුවේ මහාචාර්ය ජේ.බී. දිසානායක භාෂාවේ වෙනස්කම් පිළිබඳ දක්වන අදහස් කිහිපයකි මේ.

අපි දැන් අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ “පෙරහැර” බලනවා. සමහර අය කියනවා මේක “පෙරහැර” නෙවෙයි “පෙරහර” කියලා. ඒත් මිනිස්සු මේකට “පෙරහැර” කියන තාක් කල් ඒක “පෙරහැර” තමයි. ඒ වචනේ ඉපදුණ හැටි මොකක්ද, මුල මොකක්ද කියන එක කුමක් වුවත් අර මහජන සම්මුතිය තමයි නිවැරැදි. සිදත් සඟරා කතුවරයාත් කීවේ “වහරනු සෙරෙන් සපයා” කියලයි. එතුමන් කිව්වේ ව්‍යවහාරයෙන් ගන්න කියලයි.

අපේ ව්‍යවහාරයේ “තත්වය” කියල වචනයක් තියෙනවා. හෙළ හවුල කියනවා ඒක ලියන්න ඕනෙ “තත්ත්වය” විදිහටයි කියලා. ඒක සංස්කෘත රූපයක් කියල ඒ අය කියනවා. ඒත් සිංහල. “තත්ත්වය” කියන වචනෙ කියන්න ගිහාමත් සෑහෙන්න  මහන්සි වෙන්න වෙනවා.

සංස්කෘතයේ වචනයක් තියෙනවා “ආලය” කියලා. දෙවියන් ඉන්න ආලය “දේවාලය” හිම තියෙන ආලය “හිමාලය”. විද්‍යා ආලය “විද්‍යාලය” ඒත් සමහර අය කියනවා “විද්‍යාලයය” කියල. එහෙම කියන්න බෑ. මෙහෙම තර්ක කරන්න ගියොත් අපේ වචන බොහොමයක් කියා ගන්න බැරුව යනවා.

ගන්ධ කියන වචනය සිංහලයට ආවම “ගඳ” වෙනවා. සුඟන්ධ “සුඟඳ” වෙන්න ඕන කියල කිව්වත් “සුවඳ” කියන වචනයට අපි හැමෝම හුරුවෙලා. එතකොට දැන් ඒක තමයි හරි, තර්කානුකූලව වැරදියි වෙන්න පුළුවන්. ඒත් දැන් කරන්න දෙයක් නෑ. ඒ නිසා මේවා කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒක අඳුනගන්න බොරු පණ්ඩිතකම් ඕනේ නෑ.

ගම් + ඉ එකතු කරලා ගැමි කියල කිව්වට මඟ + ඉ එකතු කරලා මැගියා කියන්නේ නැහැනේ. ඒක සමාජගත වෙලා තියෙන්නේ මගියා කියල. මගියා කියන එක වැරදියි කියලා මැගියා කියලම කියන්න ඕනෑය කිව්වොත් බස්කාරයෝ මගියෝ ටික මඟ දාලා මැගියෝ හොය හොයා යයි. ඒ නිසා බහුජන ව්‍යවහාරය වැරදියි කියල කියන්න කාටවත් අයිතියක් නෑ.

කවුරු අකමැති වුණත් මහජන සම්මුතිය පිළිගන්න වෙනවා. “අනෙක්දා” කියන වචනය අපි දැන් කියන්නේ “අනිද්දා” කියලා. ඒකේ මුල් රූපය නැවත සමාජගත කරන්න පණ්ඩිතයන්ට බෑ. ඒක දැන් සම්මතයි. සමහර අය රටේ නැති තර්ක දාලා අමුතු බසක් හදන්න උත්සාහ ගන්නවා. ඒත් භාෂා‍වේ කාලීන වෙනස්කම් පණ්ඩිතයන්ට වළක්වන්න බෑ.

මිනිසා කතා කරන බස කුමක්ද ඒක තමයි හරි. වියත් ලේඛකයා ලියන්නේ කුමක්ද ඒක තමයි හරි. ඒක හැමෝටම පිළිගන්න වෙනවා. ඒකට පාරේ බෝඩ් ගහගෙන අල්ලගෙන ඉන්න ඕනේ නෑ. මහාචාර්ය සරච්චන්ද්‍ර, මාහචාර්ය ගම්ලත් ලියන විදිහ තමයි හරි. ඒකතමයි අපි පිළිගන්න ඕනේ.

ඒත් පත්තරකාරයෝ අකුරු අමුනන්නෝ කී පළියට ඒක පිළිගන්න ඕනැයි මං කියන්නේ නෑ.

ඒ නිසා පත්තරවලට ලිපියක් ලිව්වාම මගේ සිංහල හදන්න ඕනැත් නෑ. මම හරියට ලියල යවපුවාම සමහර පත්තරකාරයෝ ඒක වැරදිවිදිහට හදනවා මම “වැරදි’ කියල ලියල යැව්වාම පත්තෙර් අය “වැරැදි” කියල හදනවා.”පැරණි” කියන එක “පැරැණි” කියල හදනවා. “කනවා කියලනේ අපි කියන්නේ, ඒකෙන් කවනවා” කියල වචනෙ හැදෙනවා. එත් “බොනව” කියන එකෙන් “බොවනවා”  කියල හැදෙන්නේ නෑනේ. ඒක අපි කියන්නේ “පොවනවා” කියලා. ඒක අපට වෙනස් කරන්න බෑ.

භාෂාවේ මේ ස්වභාවය නිසා එක්කෝ කට වහරින්ම ලිවිය යුතු බවත් , නැතිනම් පිළිගත් සරල වියරණයක් සැකසිය යුතු බවත් ඇතැම් අය කියනවා.

මම මේ කියන ක්‍රම දෙකම පාවිච්චි කරනවා. මම පොතක් ලියන්නේ සාමාන්‍ය ජනතාවට නම් එය ලියන්නේ කතා කරන භාෂාවෙන්. පූජනීය ස්ථාන ගැන මා කළ පොත ලිව්වේ පණ්ඩිතයන්ට නොවෙයි. ඒ නිසා කටවහර තමයි ගැමියන්ට හුරු පණ්ඩිතයන්ට ලියපු “බසක මහිම”වාගේ පොත් පෙළක භාෂාව වෙනස්.

භාෂාවේ වෙනස්වීම වළක්වන්න බෑ. ඒක ගඟක් ගලනව වගේ වෙනස් වෙනවා. භාෂාව ගඟක් වගෙයි. ගඟ ගලනකොට අමුතුවෙන් කෑලි ගැලවිලා යන්නත් පුළුවන්. ගඟේ ජලස්කන්ධය වැඩි වෙන‍ කොට ඉවුරු කඩාගෙන යනවා. ඒක නවත්වන්න බෑ. දැන් භාෂාව නැමැති ගංඟාවේ ඥානස්කන්ධය නැමැති ජල කඳ වැඩියි. ඒ නිසා පරණ පාලම් දැන් කඩාගෙන යනවා. ඒ වෙනුවට අලුත් පාලම් හදන්න වෙනවා.

සයිමන් නවගත්තේගම වැනි සාහිත්‍යකරුවන් භාෂා පෝෂණය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබාදුන්නා. “මැයි මාරා ගහේ වන්දනාවක් බරට මල් පිපිලා තිබුණා” වැනි ඔහුගේ ඇතැමි යෙදුම් මට මතකයි. ලේඛකයා භාෂාව දැනගෙන ඒක නිර්මාණාත්මකව පාවිච්චි කළොත් නරකක් වෙන්නේ නෑ.

සුනේත්‍රා රාජකරුණානායක, ටෙනිසන් පෙරේරා ආදී ඔය ලේඛනයේ යෙදෙන දක්ෂ ලේඛක ලේඛිකාවන් අපේ භාෂාව පෝෂණය කරන්න දායක වෙනවා. ඒ අතරෙ වැරැද්දක් දෙකක් තියෙන්න බැරි නෑ. ඒත් එවැනි වරදක් අල්ලාගෙන මහා ලොකුවට කෑ ගහන්න වුවමනාවක් නෑ

ලංකාදීප පුවත්පතේ විමංසා සාහිත්‍ය සංග්‍රහය සඳහා ගාමිණි කන්දෙපොළ විසින් මහාචාර්ය ජේ.බී.දිසානායකගේ අදහස් රැගෙන ලියන ලද ලිපියකින් මෙම ලිපිය සකස් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!