spot_img
spot_imgspot_img

GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි

පුවත්

විදෙස්

කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සේවක සේවිකාවන්ට, ළමුන් 200ට වඩා අඩු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන රජයේ පාසල්වල ගුරුවරුන්ට හා කාර්ය මණ්ඩලයට මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහ‍ල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට රජය මගින් එන්නත් ලබාදීම එහි දී සිදුවෙයි.

නමුත් එන්නත් ලබාදීමේ කාර්යය තමන්ගේ භාරයට ගෙන ඇති “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය” (GMOA) එන්නත්කරණ වැඩසහන එම සංගමය යටතට ගනිමින් ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීම සිදුකරයි.

රජයෙන් කරනු ලබන එන්නත්කරණ වැඩසහන මුළුමනින්ම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කාර්යයක් බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා උත්සාහ ගන්නා මේ වෘත්තීය සමිතිය එන්නත් කරණ ස්ථානය අවට බැනර් පවා ප්‍රදර්ශනය කර ඇත. ඊට අමතරව රජයේ තොරතුරු පත්‍රිකාවට පරිබාහිරව වෙනත් තොරතුරු පත්‍රිකාවක් එන්නත් ලබාගන්නා සියලු දෙනාට ලබා දී එය පුරවාගෙන එන ලෙස පවසයි.

කොවිඩ් එන්නත්කරණය සඳහා ලියාපදිංචිවීමට සාමාන්‍ය ජනතාවට GMOA ලාංඡනය සහිත පත්‍රිකාවක්ක ලබා දී ඇති ආකාරය

මාසයකට වැඩි කාලයක් සේවකයන් පිරිසක් යොදා ගනිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දහසකට වැඩි කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ලේඛන සකස් කිරීමට රෝහලේ පාලන අධිකාරිය කටයුතු කළ ද අද (11) එම ලේඛන අනුව එන්නත් කිරීම සිදුවන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයන් යැයි කියාගන්නා පිරිසක් විසින් මුද්‍රණය කර බෙදාහරිනු ලබන පත්‍රිකාවක් පුරවාගෙන එන ඕනෑම අයකුට එම ස්ථානයෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය චෝදනා කරන්නේ තම ඥාතීන්ට එන්නත් ලබාදීම පසෙක තිබිය දී රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ලබාදුන් වෙනත් ලේඛනයක් රැගෙන එන අයට එන්නත් ලබාදෙන බවයි.

එන්නත් වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යාපාතියක් බව හැඟවෙන පරිදි සවිකර ඇති බැනර්

අප එතැන සිටිය දී ම මේ බව සනාථ විය. එක්තරා වෛද්‍යවරයකු එන්නත් සඳහා පැමිණෙන අය ලියාපදිංචිකරන ස්ථානයේ සිටි සේවිකාවන් දෙදෙනකුට උස් හඬින් කියා සිටියේ මෙවැන්නකි.

“ඔය කොල අරගෙන එන අය සෞඛ්‍ය සේවකයන්ගේ අම්මලා තාත්තලා තමයි. ඒවා ගැන හොයන්න එපා”

මේ කත‍ාවෙන් ගම්‍ය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ එන්නත්කරණ වැඩසටහන වෘත්තීය සමිතියක් යටතට පත්කරගනිමින් එමගින් එන්නත් ජාවාරම තවදුරටත් සිදුකරගෙන යන බවයි.

රජයේ මුදලින් ක්‍රියාත්මකවන එන්නත්කරණ වැඩසටහන සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් හඳුන්වන වෘත්තීය සමිතියකට ලබාදීමට තීරණය කර ඇත්තේ කවරකු විසින්ද ?

මෙම එන්නත්කරණ වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් සිදුකරන ව්‍යාපෘතියක් බව හැඟවෙන ආකාරයෙන් බැනර ප්‍රදර්ශයන කිරීමට අවසර ලබාදුන්නේ කවුරුන් විසින් ද ?

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමියනි, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමනි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමනි, මේ රාජ්‍ය දේපල හා රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් කරනු ලබන එන්නත් මගඩියක් බව නොපෙනෙන්නේ ද ?

සැ.යු.

මෙම පුවත සම්බන්ධයෙන් යම් සංගමයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිලි කිරීම් පළ කිරීමට අප බැඳී සිටින බව ද දන්වා සිටින්නෙමු.

3 COMMENTS

  1. GMOA මුදල් වලින් ගෙනාපු vaccine නිසා රෝහල් අද්යක්ෂක, ඇතුළු බලදාරින් කාටවත් මොනවත් කරන්න බැරුව ඇති.

  2. ඇත්තටම g.m.o.a එකේ සල්ලි වලින්ද එන්නත් ගේන්නේ.මෙහෙම ලාන්චනයක් එක්ක කොල ගහලා දෙන්න පුලුවන්ද මිනිසුන් අතරට.මිනිසුන්ගේ බදු මුදල් වලින් ගෙනත් මිනිසුන්ටම ගහන එන්නත් වලට ඇයි මේ සන්ගමයක් නමක් දාල ගහන්නෙ.පිටරටක් කරානම් අදාල ස්න්ගමයත් තහනම් කර්ලා දඩත් ගහනවා

Leave a Reply to Nimesh Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!