spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් මගඩියට මාසයයි. පොලිස් ලොක්කෙක් පරීක්ෂණ යට ගසයි ?

පුවත්

විදෙස්

පොලිස් ලොක්කෙකුගේ බලපෑමෙන් ගාල්ලේ එන්නත් මගඩිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇණහිට ඇතැයි වාර්තා වේ.

ගාල්ල උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි විශාල පිරිසකට ලබාදීමේ එන්නත් මගඩිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර හෙට (08) දිනට මාසයක් ගත වෙයි.

මෙම එන්නත් මගඩිය පිළිබඳ අප විසින් ජුනි 05 වැනි දා පළමුවරට අනාවරණය කෙරිණි. ඉන් පසු 06 වැනි දා සහ 07 වැනි දා ද එම එන්නත්කරණ වැඩසටහන පිළිබඳ නැවත නැවතත් වාර්තා කළ පසු මෙරට රූපවාහිනී නාලිකා කිහිපයක් ද 07 වැනි දා රාත්‍රියේ එම සිද්ධිය පිළිබඳ වාර්තා කර තිබිණි.

පසු දා ම (08) සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සහ ගාල්ල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විශේෂ පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මෙම සිද්ධියට අදාලව රූපවාහිනී නාලිකා විසින් ලබාගත් දර්ශන, අධිවේගී මාර්ගයේ සීසීටීවී දර්ශන සහ අදාල ලිපිගොනු වාර්තා ලබාගැනීමට අධිකරණ නියෝග ද ලැබී ඒ සම්බන්ධ සියලු පරීක්ෂණ සිදුකෙරිමින් තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකයේ නිර්දේශය වූයේ සිදුවීමට ආදාලව සෘජු චෝදනා එල්ල වූ එවකට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වූ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි යන දෙදෙනාගේ සේවය අත්හිටුවන ලෙස වුව ද අවසානයේ සිදුවූයේ ජීවරත්නට අමාත්‍යාංශයට මාරුවීමක් ලැබීම හා වෙනුර සිංගාරච්චිට වසර ගණනාවකට පෙර ලැබී තිබූ මාරුවීමක් ක්‍රියාත්මක වීම පමණි.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුහසින් බව තතු දන්නෝ දනිති. ඔවුන් එ් බව ප්‍රකාශ කරමින් යැවූ ලිපිවල සාක්ෂි ද අප සතුව ඇත.

ඉන් පසු පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුවද මේ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නගෙන් ප්‍රකාශයක් සටහන්කරගත් පොලිසියට වෙනුර සිංගාරච්චි අමතක වී තිබේ.

ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයට වෛද්‍ය ජීවරත්න ප්‍රකාශයක් ලබාදුන්න ද ‍ප්‍රධාන චූදිතයකු වූ වෙනුර සිංගාරච්චි තවමත් ප්‍රකාශයක් ලබා දී නැත.

බීමත් වෛද්‍යවරයකු තැන තැන පවසා ඇත්තේ ගාල්ල පොලිස් ලොක්කෙක් වෙනුර සිංගාරච්චි වෙනුවෙන් ඔහු බේරාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. බස්නාහිර පළාතේ සිට ගාල්ලට පැමිණ එන්නත් ලබාගත් පුද්ගලයන් පිළිබඳ අනාවරණය කරගත් තොරතුරු අනුව පරීක්ෂණ පවත්වාගෙන යන ලෙස ඔහු දැනුම් දී ඇති බවත් එම පොලිස් ලොක්කාගේ උපදෙස් හේතුවෙන් අපරාධ කොට්ඨාසයට වෙනුර සිංගාරච්චි නොයන බවත් දැන් ගාල්ලේ වෛද්‍යවරු කවුරුත් හොඳින්ම දන්නා ප්‍රසිද්ධ කරුණක් වී ඇත.

ගාල්ලේ එන්නත් මගඩියේ ප්‍රධාන චූදිතයකු වන වෙනුර සිංගාරච්චිගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා නොගැනීම පිළිබඳ එම වෛද්‍යවරයා ම වරක් තම මිතුරන් සමඟ ද ප්‍රදේශයේ පොලිස් ලොක්කෙකුගේ නම සඳහන් කරමින් “එයා වැඩේ කරලා තියෙන්නේ. පරීක්ෂණ කරන හැටි බලමු” යැයි කියා තිබේ.

මෙලෙස පොලිස් ලොක්කන් විසින් එන්නත් මගඩියේ පරීක්ෂණ යට ගැසීම පිළිබඳ විමසීමට අප ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ඇමතුව ද ඔහුගේ කාර්යාලයේ නිලධාරීන් අපේ කරුණ විමසීමෙන් පසුව කියන්නේ “සර් වැඩක්, ඔබේ අංකයට සර් අමතුමක් ගනීවි.” යනුවෙනි. ජූලි 05 වැනි දා සිට ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ අමතා අප මාධ්‍යවේදී කමල් විජේහේවා පිළිතුරක් ලබාගැනීමට ගත් සියලු උත්සාහයන්වල දී ලැබුණේ එවැනි පිළිතුරකි.

නමුත් එම කාර්යාලයේ නිලධාරීන් පවසන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයා 07 වැනි දා රාත්‍රී 8.00 වනතුරුම අපේ මාධ්‍යවේදියාට ඇමතුමක් දී නැත. ඔහුගෙන් කරුණු විමසා තුන්වැනි දිනය ද ගත වී ගියේය.

මේ අනුව, ගාල්ලේ එන්නත් මගඩිය යට ගැසීමට පොලිස් බළල් අතක් ද ක්‍රියාත්මක වන බවට පැතිරයන ආරංචි පිළිබඳ කුකුසක් උපදින අතර සිද්ධියට අදාල වෛද්‍යවරුන් ද කියන කතාවලින් ඒ බව තහවුරු වෙයි.

සැ.යු.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට කුමන ආකාරයේ හෝ අගතියක් සිදුව ඇතැයි හැ‍ෙඟෙන්නේ නම් එම පාර්ශවය විසින් ලබාදෙන පැහැදිලි කිරිමක් ද මේ ආකාරයේ සමාන ඉඩක් වෙන්කර පළකිරීමට අප බැඳී සිටින බව ද සළකන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!