spot_img
spot_imgspot_img

බාලවයස්කාර දැරිය 20,000කට මිලදී ගත් වෛද්‍යවරයා ඇගේ සේවය ලබා නොගත්තේ යැයි අධිකරණයට කියයි

පුවත්

විදෙස්

බාල වයස්කාර දැරියක් මිල දී ගෙන ලිංගික සේවා ලබාගත්තේ යැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් හෘද රෝග විශේෂඥ ව්‍යෛවරයා ලබන 09 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ.

නියෝගය ලබාදුන් අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඔහු ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

මෙම සැකකාර වෛද්‍යවරයා නාවික හමුදාවට අනුයුක්තව ලුතිනන් කමාන්ඩර්වරයෙක් වශයෙන් ද කටයුතු කරන්නෙකි.

පොලිස් හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මම වෛද්‍යවරයා එම දැරිය සඳහා රුපියල් 20,000.00ක් ගෙවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. එමෙන්ම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරු රජීව් නැමැත්තාගේ  වාහනයෙන් මෙම දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් මහේෂ් නමැති අයකුගේ මාර්ගයෙන් වෛද්‍යවරයා දැරියගේ සේවය ලබාගෙන ඇතිබවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එම දැරිය භාවිතා කළ දුරකථනයක වෛද්‍යවරයාගේ අංකය ඇති බවත් සඳහන් කළ පොලිසිය වෛද්‍යවරයා දුටුවහොත් හඳුනාගත හැකි බවට දැරිය ප්‍රකාශ කරන බැවින් සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරගත කර හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමුකරන ලෙසත් නියෝග කරන්න යැයි ද පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයකා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක රෝහල යන ආයතනවල කටයුතු කරන බවයි.

එමෙන් ම තම සේවාදායකයා මෙම දැරියගේ සේවය ලබාගැනීම සඳහා අදාළ හෝටලය වෙත ගිය බව ඔහු විසින් පිළිගන්නා බවත් එම දැරිය බාලවයස්කාර දැරියක් බව වටහාගැනීමත් සමඟම තම සේවාදායකයා එම ස්ථානයෙන් වහාම ඉවත්වී ගොස් ඇති බවත් නීතිඥවරයා සඳහන් කර තිබේ. ඒ බව අදාළ හෝටලයේ CCTV කැමරා දර්ශන පරීක්ෂාකළ විට තහවුරු කරගත හැකි බව ද නීතිඥවරයා පවසයි.

එබැවින් තම සේවාදායකයා දැරිය අපයෝජනය කළා යැයි නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම සඳහන් කරයි.  

නීතිඥවරයා අධිකරණයට කරන ලද එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පොලිසිය අතවරයට පත් දැරිය බාලවයස්කාර දැරියක බව දැන දැන ම වෛද්‍යවරයා විසින් ඇය මිල දී ගෙන ඇති බව අධිකරණයට ප්‍රකාශ කළේය. දැරියගේ ජංගම දුරකථ‍නයේ වෛද්‍යවරයාගේ දුරකථන අංකය තිබීමෙන් ම ඒ බව තහවුරු වන්නේ යැයි ද පොලිසිය පවසයි.

මෙහි දී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂාකරන බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනයකර ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාර වෛද්‍යවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

මේ අතර අතවරයට පත් දැරිය විවිධ පුද්ගලයින්ට විකිණීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිරෝද රථ රියදුරකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබුණි.

එමෙන්ම අදාළ දැරිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු වෙනුවෙන් නියමකර ඇති හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගුකරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් ඉදිරිපත්කරන ලද ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ප්‍රතික්ෂේප කළාය.

අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත්කරමින් තමන් අදාළ දැරිය සිටි ස්ථානයට ගිය බවට පිළිගැනීමක් කරන බවත් ඒ අනුව ඔවුන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත්කිරීම අනවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ විමර්ශන අවස්ථාවේ දී මෙවැනි දිවුරුම් ප්‍රකාශ මත හදූනාගැනීමේ පෙරට්ටු අවලංගුකිරිමට හැකියාවක් නොමැති බවය.

මේ අතර අතවරයටපත් දැරිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකළ වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුළ දී පිවිසීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත්ක රන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ ඉල්ලීමක් ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ප්‍රතික්ෂේප කළාය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124වන වගන්තිය ප්‍රකාරව තමන්ට මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන බවය.

එහෙත් මෙවැනි ක්‍රියා තහනම් කිරීම සඳහා රජයේ ආයතන වෙත ප්‍රමාණවත් බලතල තිබෙන බව පෙන්වාදුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් මෙම වෙබ් අඩවිවල කටයුතු පිළිබඳ කරුණු විමසීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නීති නිලධාරියෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ තවත් ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩකඩ සලසාදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!