spot_img
spot_imgspot_img

ඩෙල්ටා ප්‍රභේදය ගාල්ලේ පැතිරීමේ අවදානමක්? සත්‍ය දැනගැනීම ආරක්ෂාවට උදව්වකි

පුවත්

විදෙස්

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවේ කීවාය.

දැන් ක්‍රමයෙන් ඒ කරුණ සනාථ වෙමින් තිබේ.

ඊයේ (03) ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් ලබාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල 142ක් පරීක්ෂා කිරීමේ දී ඉන් 14ක් හෙවත් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය වීමෙන් ම මෙහි භයානකත්වය තේරුම්ගත යුතුය.

නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ම ඇතැම් පුද්ගලයන් කටයුතු කරමින් සිටින්නේ මේ සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවාගෙන මේ වසංගතය පාලනය වන බව ඒත්තු ගැන්වීමටය.

එය කොතෙක් දුරට නිවැරදි ක්‍රියාපිළිවෙතක් ද යන්න තවත් නොබෝ දිනකින් තහවුරු වනු ඇත.

මෙරට ජනතාවට මුහුණදීමට සිදුව ඇති කොරෝනා අවදානමේ නිවැරදි තතු සමාජගත නොකර කොරොනා වසංගතය පාලනය කළ නොහැකි බව සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් අහඹුලෙස තෝරාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කරන ලද කොරෝනා ආසාදිත රෝගියකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒ අතරින් ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයකු හඳුනාගත් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබේ.

මේ ආසාදිත කාන්තාව රත්ගම පදිංති අයෙකි. රත්ගම පන්විල පදිංචි ඇය පසුගිය ජුනි 22 වැනි දින අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේ දී කරන ලද PCR පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි. ඉන් පසු හබරාදුව කළුගල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

ඇය කොග්ගල ඇඟළුම් සේවිකාවකි. එම ඇඟළුම් කර්මාන්තශාලවේ තවත් කිහිප දෙනකුට කෙරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන් අතර ද පැතිර ඇත්තේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැත.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොග්ගල සිට අම්බලන්ගොඩ දක්වා ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයකින් ඇය සේවා ස්ථානය දක්වා ගමන් කරන බවයි. දෛනිකව රත්ගම හන්දියෙන් එම බසයෙන් බැස දොඩංගොඩ බසයෙන් හෝ නැතිනම් වෙනත් පුද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් ඇය කිලෝ මීටර 06කට ආසන්න දුරක් පන්විල දක්වා ගමන් කරන බව ද තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම ඇය කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් දිනට පෙර අවදානම් කාලයේ දී රත්ගම් හන්දියේ පිහිටි ‍වෙළඳ සැළකින් ආහාර ද්‍රව්‍ය මිල දී ගත් බවට ද සෞඛ්‍ය අංශ වෙත වාර්තා ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇඟළුම් කර්මාන්තශාලා කිහිපයකින් ම කොරෝනා ආසාදිතයන් වරින් වර වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම සඳහා සිදුකරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය ඉතාමත් අවම කර ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක ඇතැම් දිනවල දී එවැනි පරීක්ෂණ 50ක් පමණ සිදුකරයි. එම කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ එලෙස සිදුකරන පරීක්ෂණවලින් ද කොරෝනා ආසාදිතයන් 5-10ත් අතර ප්‍රමාණයක් හමුවන බවයි.

මෙම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 10-20% අතර අගයක් ගැනීම ද බරපතල තත්ත්වයකි.

එම අවදානම තේරුම් ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හැකිතාක් ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියූ කතාව සිහිපත් කරගන්නා ලෙස ද අපි rata.lk පාඨක ඔබෙන් ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!