චීන ජාතිකයන් වනසන්නේ “මාගම රාජධානියේ” උරුමයයි ?

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

මහා වැව් තැනූ ජාතීන් අතර ලොව පළමු ස්ථානය හිමිවන්නේ අතීත ශ්‍රී ලාංකිකයන්ටය. -තා-ක්ෂණයෙන් දියුණු වූ සමස්ත ලෝකයම අදටත් පුදුමයට පත්කරවන වාරි තාක්ෂණයකට හිමිකම් කියූ අපේ අතීත මුතුන් මිත්තෝ අහස උසට මහ දාගැබ් මහල් ගොඩනැගිලි තැනූහ.

මේ ශ්‍රේෂ්ඨ ජාතිය විසින් වසර 1200ට වැඩි කාලයක් රාජධානිය ලෙස අනුරාධපුරයත්, ඉන් අනතුරුව පොළොන්නරුවත් පවත්වාගෙන ආව ද ඒ රාජධානි ද්විත්වයට ම නිරන්තර රැකවරණය ලබාදුන්නේ රුහුණු රට පිහිටි මාගම රාජධානියයි.

“රෝහණ දේස” හෙවත් “රෝහණ මණ්ඩල” යනුවෙන් වංශ කතාවේත් “රුහුණු ජනවු” හෙවත් “රුහුණු දනවිය” යනුවෙන් අනුරාධපුර යුගයේ සෙල්ලිපිවලත් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ “දක්ෂිණ දේශය” ඈත අතීතයේ රටේ පාලන කේන්ද්‍රස්ථානය නොවූව ද බ්‍රිතාන්‍යයන් විසින් මුළු ලංකාවම යටත්කරගන්නා තුරු කිසිදු විදෙස් ජාතියකට අල්ලාගත නොහැකි වූ අභිමානවත් පුරවරයක් විය.

විදෙස් ආක්‍රමණිකයන් රජරට රාජධානිය අල්ලාගන්නා සෑම මොහොතක ම රුහුණු රටේ මාගම රාජධානියේ කුරමාරවරු සතුරු සෙන් මැඩ පවත්වා ලක් රජය නැවත ජයගත්හ. එවන් උදාර රාජ පරපුරක් බිහි වූ මාගම රාජධානිය අද කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් පොළොව යට සැඟව පවතී.

බස්නාහිරින් බෙන්තර ගඟින් දකුණු දිශාවටත්, රට මැද පිහිටි මධ්‍යම කඳුකරයේ නිරිත, දකුණු සහ බටහිර බෑවුමෙනුත්, උතුරින් මහවැලි නදියෙනුත්, අන් සෑම දෙසකින්ම මහ මුහුදිනුත් වට වූ මාගම රාජධානියේ අතීත නෂ්ඨාවශේෂ මේ සෑම දෙසින්ම හමුවෙයි. හම්බන්තොට, තිස්සමහාරාමය, යාල මහ වනය, පානම, අම්පාර, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලින් අදට ද හමුවන සෑම ගල්කණුවක් ම අදටත් ගොවි ජනතාවට ජලය සපයන ලොකු කුඩා වැව් දහස් ගණනක් ද නිල්ල පිරෙන මහා කෙත් යායන් ද කියා පාන්නේ අතීත මාගම රාජධානියේ ශ්‍රී විභූතියයි.

මාගම රාජධානියේ අතීත තොරතුරු මහාවංශය, ධාතු වංශය, ස්‌ථූප වංශය, සද්ධර්මාලංකාරය, පාලි සහස්‌සවත්ථූපකරණය, රාජාවලිය වැනි සාහිත්‍ය කෘතීන් හා අම්පාර, මඩකලපුව, සිතුල්පව්ව, දිගාමඩුල්ල, මොණරාගල, පානම, යාල වනාන්තරය වැනි ප්‍රදේශවලින් වරින්වර හමු වූ සෙල්ලිපිවලින්ද රුහුණේ තෙරතුරු සමුදායක් මෙන්ම රාජ වංශ පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙයි.

මේ අතින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් පළමු වරට කියවූ කුසලාන්කන්ද ලිපිය, පෙරියපුලියන්කුලම ලිපිය, මොට්‌ටයාකල්ලු ලිපිය, කොට්‌ට දැමූ හෙළ ලිපිය, බෝවත්තේගල ලිපිය, කිරින්දේ ලිපිය හා කල්ලුඩු පොතාන යනාදී ශිලා ලේඛන වලින් රුහුණු රජ පරපුර පිළිබඳව අගනා කරුණු රැසක්‌ අප හමුවේ ඇත.

මහාවංශය පවසන්නේ දේවානම්පියතිස්ස රජුගේ සහෝදර මහානාග යුවරජු මැරීමට රජුගේ බිසව ගත් උත්සායයට බියෙන් රුහුණට පලා ආ මහානාග රජුගෙන් රුහුණේ රාජාවලිය ආරම්භ වූ බවයි.

මහානාග යුවරජු රුහුණට පලා එද්දි යටාල වෙහෙර අසළ දී ඔහුගේ බිසවට පුතකු ලැබුණු බවත් ඒ කුමරුට තිස්ස නම තබා පසුව යටාල වෙහෙර අසළ දී උපන් තිස්ස යටාලතිස්ස නමින් ප්‍රකට වූ බවත් මහා වංශයේ දැක්වේ.

අදට ද තිස්මහාරාමය ආසන්නයේ යටාල වෙහෙර දක්නට ලැබෙන අතර ඒ ආසන්නයේ ම තිස්සමාහාරාම වැව පිහිටා තිබේ. යටාලතිස්සගේ පුතු ගෝඨාභය ද ඉන් පසු ඔහුගේ පුත්  කාවන්තිස්ස ද රුහුණේ රජ කළ බව මහාවංශයේ දැක්වේ.

කාවන්තිස්ස රුහුණේ ප්‍රකටම පාලකයාය. කැලණියේ රජකළ කැලණිතිස්ස රජුගේ දියණිය දේවී කුමරිය හා විවාහ වී ගැමුණු හා තිස්ස කුමරුන්ට උපත දුන් කාවන්තිස්ස මෙරට ඉතිහාසයේ අතිවිශාල වෙනසකට දායක වූ රාජ්‍ය පාලකයාය. පැරණි මාගම රාජධානියේ අද හමුවන නටඹුන් අතරින් බොහොමයක් කාවන්තිස්ස රාජ්‍ය කාලයේ නිර්මාණයන්ය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ පුරාවිද්‍යා ආයතනයත් එක්ව මාගම රාජධානියේ අගමුල සොයා කරනු ලබන කැණීම් ආරම්භ කර ඇත්තේ 1992 වර්ෂයේ දී ය. ඒ අනුව තිස්සමහාරාමයේ පැරණි උසාවි භූමිය, නව උසාවි භූමිය හා සර්වෝදය විශ්‍රාම ශාලා පරිශ්‍රයේ කැණීම් සිදු කෙරිණි.

කැණීම්වල අරමුණ වූයේ මාගම රාජධානියේ කේන්ද්‍රස්ථානය සොයාගැනීමයි. අනුරාධපුරය හා පොළොන්නරුව රාජධානිවල කේන්ද්‍රස්ථානය පැහැදිලි වුව ද මාගම එවැන්නක් නැත. එබැවින් පුරාවිද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව ප්‍රදේශයේ භූවිෂමතාව හා විහාරස්ථානවල පිහිටීම පරීක්ෂාකළ පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂය වූයේ තිස්සමහාරාම දාගැබ අසළ සිට පැමිණෙන විට වැව්බැම්ම සමඟ උස්වූ කිලෝ මීටරයක පමණ දිග පළල ඇති  භූමියක් තිබෙන බයි. මෙය බොහෝ විට මාගරම රාජධානියේ ඇතුල් නුවර විය හැකි බව ද එය තිස්ස මහාරාම වැවට මායිම් වී තිබෙන බව ද ඔවුන් තීරණය කර තිබිණි. ඒ අනුව මේ ස්ථානවල කැණීම් ආරම්භ කර තිබේ.

ඉතිහාසඥයන් පවන්නේ තිස්සමහාරාමයේ අදටත් දැකිය හැකි සුවිසල් වැව එකල දේවානම්පියතිස්ස රජු විසින් යටාල වෙහෙර ඉදිකරන කාල‍යේ සාදන්නට ඇති බවයි. නැතිනම් එය මහානාග යුවරජු හෝ යටාලතිස්ස රජු විසින් හෝ සාදන්නට ඇති බවට ද විශ්වාසයක් පවතී.

වැවට පසෙකින් පැරණි උසාවි භූමියේ තිබූ සුවිසල් ගල් කුළුණ අසළ පළමු කැණීම 1992 දී සිදුකෙරිණි. ඒ ගල් කුළුණ මැකී ගිය සෙල්ලිපියකි.

එම ස්ථානයේ තිබී ගොඩනැගිල්ලක පාදමක් ඇතුළු අවශේෂ හමුවී ඇති අශ්වයකුගේ අස්ථි කොටස් ද සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ. මේ ස්ථානයේ රජ මාළිගය තිබුණා යැයි සිතන්නට හැකි සාධක වෙනත් කිසිවක් හමුවුණේ නැත.

ඉන්පසු නව උසාවි සංකීර්ණය අසළ කැණීම් සිදුකළහ. එතැනින් ද හදුනාගත නොහැකි ගොඩනැගිලි රැසක පාදම් හමුවුව ද මාගම රාජධානියේ වැදගත් තොරතුරු හමුවූයේ නැත.

තුන්වැනි ස්ථානය සර්වෝදය විශ්‍රාමශාලා භූමියයි. එය තිස්සමහාරාම වැවේ ජලය පෑගෙන තරම් ආසන්නයෙන් පිහිටා ඇති ස්ථානයකි. වර්ෂ ගණනාවක් අවස්ථා කිහිපයක් කැණීම් සිදුකරමින් එහි ගැඹුරටම කැණීම් සිදුකෙරිණි.

මේ කැණීමෙන් මාගම රාජධානියේ ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගත හැකිවිය.

අදින් වසර 2300ක් දක්වා පැරණි අපූරු ඉතිහාසයක් පියවරෙන් පියවර මතුව තිබිණි. එකල ඔවුන් පරිහරණය කළ දෑ, ඔළුුන්ගේ ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඔවුන්ගේ ඇදහිළි විශ්වාසයන් හා ජන ජීවිතය කෙසේ සකස්ව තිබුණේ ද යන්න එම ස්ථානයෙන් සොයාගත හැකිවිය.

එම ස්ථානයේ කැණීම් සඳහා සම්බන්ධ වූ ජර්මන් ජාතික ආචාර්ය හාන්ස් ජෝකිම් වයිසාර් පවසන්නේ තිස්සමහාරාම වැවේ එක් මායිමක පිහිටි මේ භූමියේ මෙරට පැරණි ලෝහ තාක්ෂණය පිළිබඳ සහ වෙළඳ කටයුතු පිළිබඳ අපූරු සාධක පවතින බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කී‍වේය.

“අප සොයාගත් දත්ත අනුව එක් ස්ථානයක ඉතාමත් විශිෂ්ඨ ගනයේ යකඩ හා තඹ නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම වළං කර්මාන්තය ඉතා හොඳින් දියුණුව තිබූ බවට සාධක තිබෙනවා. මේ ස්ථානයේ ටිකක් යටට හාරනවිට අපිට ගොඩනැගිළි රාශියක පාදම් හමුවුණා. එම ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරයත්, ඒවායේ බිම් සැළැස්ම හා විශාලත්වය බැලුවාම ඒ ගොඩනැගිලි අතීතයේ ප්‍රභූවරුන්ගේ නිවාස විය හැකියි. අපිට නිශ්චිතව කියන්න බැහැ මේ රජ මාළිගාවක් හෝ එහි අවශේෂ කොටස් කියා. එම ගොඩනැගිලි කාල නිර්ණය කළාම ඒවා ක්‍රිස්තුවර්ෂ හතරවැනි හා අටවැනි සයිවස්වලට අයිති බව තහවුරු වුණා.”

මේ ගොඩනැගලි පාදම් තිබූ පස් තට්ටුවට යටින් මැටි බඳුන් රැසක් හමු වූ අතර එක් ස්ථානයක තිබී අතීතයේ භාවිතා කළ ගජ ලක්ෂ්මී කාසි 700ක් පමණ හමුවී තිබිණි. එමෙන්ම ඉතා හොඳින් ආරක්ෂා වූ පබළු මාල දෙකක් ද සොයාගැණිනි.

එම ගොඩනැගිලි කොටස් ඉවත් කළ පර්යේෂකයෝ තවත් අතීතය සොයා කැණීම් කළහ.

මෙම ස්ථානයේ කැණීම් භාර නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.කේ.සනත් මහතා කියා සිටියේ එම ගොඩනැගිළි ඉවත්කළ විට මතුවූයේ කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් දක්නට නොලැබෙන තුනී පස් තට්ටුවක් බවයි. එය පිහිටි පොළවක් නොවීය. ඒ ජනාවාස නොමැතිව තිබූ කෙටි කාලයක දී එකතු වූ පස් තටටුවක් විය යුතුය. ඊට යටින් යළි පෙර පරිදිම මැටි බඳුන් හා මැටි භාජන කොටස් විශාල වශයෙන් මතු වූ අතර ඇඹරුම් ගල් අතිවිශාල ප්‍රමාණයක් ද මතුවිය. ගඩොලින් බඳින ලද බිත්ති හා උළුකැට කොටස් ද හමුවූ අතර ගොඩනැගිලි පාදම් ද හමුවිය.

මේ ගොඩනැගිල් කැණීම් වළේ ප්‍රමාණය ඉක්මවා ඈතට දිවයන බව දක්නට ලැබේ. එක් පැත්තකින් ඇත්තේ තිස්සමහාරාම වැවයි. ඒ ප්‍රදේශයේ කැණීම් සිදුකරන්නේ නම් කැණීම්වළට ජලය ගලා එනු ඇත. තවත් දෙපසකින් නූතන ගොඩනැගිලි ඉදිකිරීම්ය. තවත් පැත්තකින් කතරගම ප්‍රධාන මාර්ගයයි. මේ හේතුවෙන් කැණීම්වළ පුළුල් කිරීමට ඉඩක් නැත. මතුවූ සාධකවලින් අතීතය ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවෙයි.

“මේ හමුවන සාධක අනුව මෙතැන තිබෙන්නට ඇත්තේ ඖෂධ නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් විය යුතුයි. රෝහලකින්නම් බෙහෙත් ඔරු ශල්‍ය උපකරණ ආදිය හමුවෙනවා. නමුත් මෙතැන තිබෙන්නේ විවිධ ප්‍රමාණයේ හා විවිධ හැඩයේ මැටි භාජන හා විවිධ හැඩැති ඇඹරුම් ගල්. ඒ නිසා අපි හතිනවා බෙහෙත් නිෂ්පාදනය කරපු ස්ථානයක් විය හැකියි කියලා.” යැයි ඩබ්ලිව්.කේ.මහතා කීවේය.

එක් ස්ථානයක ඇත්තේ එක මත එක තැබූ මැටි භාජන කිහිපයකි. එය වැසිකිළි වළකි. අතීත ජනතාව තම අපද්‍රව්‍ය පරිසරයට එකතුවීමේ දී ගල්, බොරළු, පිළිස්සුණු මැටි කොටස්, වැලි හා අඟුරු ඔස්සේ මුත්‍රා පෙරී පිරිසිදු වී ගොස් පොළොවට එකතුවෙන ආකාරයට සකසා තිබූ බවට එය සාක්ෂි දරයි. මේ ස්ථානයේ තිස්සමහාරාම වැව පිහිටා තිබූ බැවින් එදා ජනතාව ජලයට අපිරිසිදු දෑ එකතු කරන්නට නැත.

පුරාවිද්‍යාඥයන් පවස්න් මේ නටඹුන් ක්‍රිස්තු පූර්ව 200-100ත් අතර අතීතයකට දිව යන බවයි.

මේ ගොඩනැගිලි කොටස් ඉවත්කර තවදුරටත් කැණීම් වළ හාරද්දී තවත් එම ගොඩනැගිළි ඉදිකිරීමට පෙර එතැන තිබූ තවත් ගොඩනැගිළිවල නටඹුන් මතුවිය.

ආචාර්ය හාන්ස් ජෝකිම් වයිසාර් පවසන්නේ පසුව මතුවූ සාධක පෙර ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීමට පෙර මේ ස්ථානයේ තිබූ මානව ජනාවාසයක කොටස් බවයි.

වැවට යාබදව පිහිටි මේ ස්ථානයේ එක් තැනක ජලය පිරවීමට සකසන ලදැයි සිතිය හැකි ටැංකියක් ද දක්නට ලැබිණි. එම ටැංකියේ සිට ජලය ඉවතට රැගෙන ගිය මාර්ගය ද මතුකරගත හැකිවිය.

විදෙස් රටවලින් ගෙන්වන ලද මැටි බඳුන්, මෙරට දක්නට නැති කානේලියම් වර්ගයේ පබළු පවා හමුවිය. ඒ සාධක අනුව පැහැදිළි වන්නේ මාගම රාජධානියට ක්‍රිස්තු පූර්ව යුගයේ පවා විදෙස් සම්බන්ධතා තිබූ බවයි. එම පස් තට්ටුවේ තිබී අතීතයේ භාණ්ඩ අළෙවියේ දී භාවිතා කරන ලද මුද්‍රා කිහිපයක් ද සොයාගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් හතරැස් හැඩැති කැඩී බිඳී ගිය උළු කැට රාශියක් ද සොයාගත හැකිවිය. කාල නිර්ණය අනුව පැහැදිලි වූයේ එය ක්‍රිස්තු පූර්ව 300ට අයත්වන බවයි. වළං කැබලිවල තිබූ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් මූල බ්‍රාහ්මීය අක්ෂර ද ඒ බව සනාථ කරන තවත් සාධකයකි.

එදා ඖෂධ නිෂ්පාදනාගාරයක් මෙතැන ඉදිවීමට සියවසකට පමණ පෙර මේ ස්ථානයේ ඉතා දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් තිබී ඇති බව මේ කරුණු අනුව සනාථ විය. එම ස්ථානයේ පැවති ගොඩනැගිල්ලේ සාධක පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ එය ගින්නකින් විනාශ වී ඇති බවයි.

කැණීම් ස්ථානයෙන් වැව දෙසට වන්නට අඩි ගණනක් පළලැති ප්‍රාකාරයක නටඹුන් හමුවී තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එය ගල් සහ මැටි දමා තලා සකස්කර ඇති බවයි. එය වැවේ ජලය ගොඩනැගිලි තිබෙන ප්‍රදේශයට පැමිණීම වැළැක්වීම සඳහා සැකසූ ප්‍රාකාරයක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙවැනි ප්‍රාකාරයක් එතැන ඉදිකිරීමට හේතුවක් ද තිබෙන බව පුරාවිද්‍යාඥයෝ කියති. ඒ බවට සාක්ෂි කැණීම් වලින් මතුවී ඇත. මතු වූ පැරණි ගොඩනැගිළි බිත්ති කිහියක් ම එක් පැත්තකට ඇළ වී තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මහ වැස්සකින් සිදු වූ ජල ගැල්මක් හේතුවෙන් ඒ ගොඩනැගිලි විනාශ වී ඇති බවයි.

අතීතයේ වැවයි දාගැබයි මෙන්ම වැව් ආශ්‍රිතව නගර හා ජනාවාශ ඉඳිකිරීම ද සිදුවිය. අනුරාධපුරයේ ද පොළොන්නරුවේ ද මහ වැව් රාජධානිය අසළම ඉදිවූයේ එබැවිනි.

මාගම රාජධානියේ රාජ්‍ය පාලන කේන්ද්‍රස්ථානය වූ රජමාළිගය ඇතුළු නගරය ස්ථිරව ම මේ යැයි කීමට මෙතෙක් සාධක සොයාගත නොහැකි  වුව ද තිස්සමහාරාම වැව, තිස්සමහාරාම දාගැබ ආසන්න ප්‍රදේශය ඇතුළු නුවර යැයි විශ්වාසයක් පවතී.

මේ අතීතයේ බොහෝ සාධක පොළොව යට මෙන්ම තිස්සමහාරාම වැවේ ජලය තුළ ද සැඟ වී තිබෙන බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ වැවක ඇති රොන්මඩ ඇතුළු අවසාදිත යනු ශිෂ්ඨාචාරයක සම්පූර්ණ තොරතුරු මතුකරගත හැකි මහඟු සම්පතක් බවයි. ඒවා ක්‍රමාණුකූලව සියුම්ව අධ්‍යයනය කිරීමෙන් වසර දහස් ගණනක ඉතිහාසයේ මානව ක්‍රියාකාරකම් මෙන්ම ස්වභාවික පරිසරයේ ද ඇතිවූ වෙනස්කම් හඳුනාගත හැකිවනු ඇත.

එමෙන් ම මෙරට වැව් කර්මාන්තය පිළිබඳ නූතන පර්යේෂකයෝ පවා දන්නේ අල්ප වශයෙනි. ඒවායේ ඉදිකිරීම් තාක්ෂණය ඇතුළු බොහෝ දෑ අප දන්නේ නැත. සුප්‍රකට මාදුරු ඔයේ සො‍රොව්වේ කතාව ද එවැන්නකි. පර්යේෂකයන් වසර ගණනක් අධ්‍යයනය කර සොරොව්ක් ඉදිකිරීමට තැනක් සොයද්දී ඊට සියවස් ගණනාවකට පෙර අතීත රජදරුවන් විසින් ඉදිකළ සොරොව්වක් හමුවීමෙන් විදෙස් විශේෂඥයෝ පවා පුදුමයට පත්වූහ.

චීන ශ්‍රී ලංකා හවුල්කාර සමාගමක් තිස්සමහාරාම වැව හාරමින් රොන්මඩ හා වැලි ඉවත්කිරීමට කටයුතු කරන බවට මහත් ආන්දෝලනක් ඇතිවූ අවස්ථාවේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා වහාම ඒ ක්‍රියාව නතර කළේ එම කරුණු සැළකිල්ලට ගනිමිනි.

මහාචාර්ය මනතුංග ඒ ගැන මෙසේ කීවේය.

“ශ්‍රී ලංකාවේ ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තක්සේරු ඇගයීම් වාර්තාවක් ලබාගත යුතුයි. වාරිමාර්ග ව්‍යාපෘති සඳහා මේවා ලබා නොගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එය වැරදියි. තිස්සමහාරාම වැව හෑරීමේ ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා අවසරයක් අරගෙන නැහැ. ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය නතර කරන්න උපදෙස් දුන්නා. තිස්සමහාරාම වැව වටා ස්ථාන කිහිපයකින් ම පුරාවිද්‍යාත්මක නටඹුන් හමුවෙනවා. වැවක් කියන්නේ ඓතිහාසික සාධක විශාල ප්‍රමාණයක් දරාගෙන සිටින ව්‍යුහයක්. ඒ නිසා කිසිම කෙනෙකු එහි පුරාවිද්‍යා අවසරයකින් තොරව  සංවර්ධන ව්‍යාපෘති කරන්න බැහැ. මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක සාධඛවලට මේ ව්‍යාපෘතියෙන් හානි සිදුවනවා ද කියා අපි සොයා බලනවා.”

අතීත මාගම රාජධානියේ අගනුවර පිහිටියේ යැයි විශ්වාස කරන තිස්සමහාරාම ප්‍රදේශයේ මේ පැරණි සාධක තවදුරටත් විනාශ විය යුතු ද නැතිනම් සැඟවුණු අතීතය අනාගතයේ දිනයක හෝ මතුකර ගැනීම සඳහා ආරක්ෂා කළ යුතු ද යන්න වත්මන් පරපුර තීරණය කළ යුතුය.

(සජීව විජේවීර)

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!