spot_img
spot_imgspot_img

බද්දේගම කම්හළක් කොරෝනා නිසා වසා තිබිය දී සේවකයන් කැඳවන බවට චෝදනා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් පසුගිය සිකුරාදා (25) සිට තාවකාලිකව වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබිය දී එම නියෝග නොතකා තමන් සේවයට ගෙන්වීමට කාර්මාන්තශාලා පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව බද්දේගම ඉඳිගස්කැටිය ස්ටාර් ගාමන්ට් සේවක සේවිකාවෝ චෝදනා කරති.

අප මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වෙතින් විමසූ විට ඔවුන් කියා සිටියේ එම ඇඟළුම් කර්මාන්තශාලාවේ මේ වනවිට 50කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තාවන බැවින් එය තාවකාලිකව වසා දැමීමට නියෝග කළ බවයි. වසා දමා තිබිය දී සේවක සේවිකාවන් කොටස් වශයෙන් ඇඟළුම් කම්හළට ගෙන්වන බවට ලැබුණු තොරතුරු අනුව සොයා බැලී‍මට එහි ගිය අවස්ථාවක දී කම්හලේ විධායක නිලධාරීන් පිරිසක් පමණක් එහි රැඳී සිටි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.

මෙම කම්හලේ සේවක සේවිකාවන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත්තේ පුද්ගලික රසායනාගාරයක් විසිනි. ආසාදිතයන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දී ඇත්තේ ද එම කර්මාන්තශාලාවේ ම පාලන අධිකාරිය විසිනි. එබැවින් ආසාදිත බවට දන්වා ඇති සංඛ්‍යාවන් සහ ඔවුන්ගේ තොරතුරු පිළිබඳව ද සැකයක් ඇති බව සෞඛ්‍ය නිලධාරීන්ම පවසයි.

එවැනි වාතාවරණයක් තුළ ආයතනයේ ආසාදිත වූ 100කට වඩා වැඩි පිරිසක් සිටින බවත් ඒ බව සෞඛ්‍ය අංශ වෙතින් සඟවන බවත් සේවක සේවිකාවෝ ම චෝදනා කරති. ඔවුන් පවසන්නේ ඊයේ (30) රාත්‍රියේ සිට නිවෙස්වලට දුරකථන ඇමතුම් දෙමින් අද (01) සේවක සේවිකාවන් කැඳ වූ බවයි.

ඒ අනුව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද උද‍ෑසන 100ක පමණ සේවක පිරිිසක් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයට වාර්තා කර ඇති බවකි.

කොරෝනා වසංගතය පැවතිය ද රටේ ආර්ථිකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා කර්මාන්තශාලා උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යාම රජයේ ප්‍රතිපත්තිය වෙයි. එයට අපගේ ද එකඟතාවක් තිබුණ ද කොරෝනා පොකුරක් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතර නිර්මාණය වී තිබූ තත්ත්වයක් තුළ මෙලෙස කටයුතු කිරීම ගැටලු සහගතය.

මෙම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් බද්දේගම පමණක් නොව ඒ අවට ප්‍රදේශවල සිට පැමිණෙන නිවෙස්වල පදිංචිකරුවෝ. මේ වනවිට කොරොනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ද නිවෙස්වල නිරෝධායය වෙමින් සිටින අතර ඇතැම් පිරිස්වලට නිසි ලෙස නිරෝධායනය වීමේ උපදෙස් ද ලැබී නැතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් විසූ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ නැවත එම කර්මාන්තශාලාව පරීක්ෂාකර බලන බවයි.

කර්මාන්තශාලාවේ පාලන අධිකාරියෙන් මෙලෙස සේවකයන් ගෙන්වීම සම්බන්ධයෙන් විමසීමට අප උත්සාහ ගත්ත ද කිසිදු වගකිව යුතු අයකු සම්බන්ධ කරගත නොහැකි විය. එම ආයතනයේ සේවක සේවිකාවන් භාරව (අනන්‍යතාව හෙළිවන බැවින් තනතුරු සඳහන් නොකරමු) කටයුතු කරන නිලධාරී නිලධාරිනියන් අතරින් කිහිප දෙනකු ද මේ වනවිට කොරෝනා ආසාදිතව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර තවත් පිරිසක් නිරෝධායනයට යොමුකර සිටිති.

සැ.යු.

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම් එම පාර්ශවය විසින් කරනු ලබන කරුණ දැක්වීම් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව ද දන්වන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!