spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළඳ පොළ ගතවූ මාසයේ දී ලොව වැඩිම වර්ධනය වාර්තාකරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අවසන් දින 30 දී ලෝකයේ සියලු කොටස් වෙළෙඳ පොළ අතරින් වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ බවට පත්වයි. ඒ අනුව අවසන් දින 30 තුළ කොළඹ කෙටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 9.29ක් ඉහළට ගොස් ලෝකයේ සියලු කොටස් වෙළෙඳ පොළ අතරින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ඉන්දියාවේ බොම්බේ කොටස් වෙළෙඳ පොළ 8.25% වර්ධනයක් ලබාගනිමින් දෙවන ස්ථානයේ ද, MSCI Frontier කොටස් වෙළෙඳ පොළ 7.28% වර්ධනයක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානයට පත්ව ඇත.

අද දිනයේ කොළඹ කෙටස් වෙළෙඳ පො‍ළ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 68.6 කින් ඉහළ ගිය අතර එය දැක්වුණේ 7878 ක් බවට පත්විය. ඒ අනුව අද දිනයේ වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.6කි.

දිනයේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් දායක වූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 378යි, LOLC සමාගම රුපියල් මිලියන 151යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78ක් ලෙස සඳහන් විය.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගැනීම් රුපියල් මිලියන 27ක් වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 13යි, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 07යි වශයෙන් ප්‍රධාන විය.

විදේශ ආයේජකයන් විසින් රුපියල් මිලියන 42ක කොටස් විකුණා ඇති අතර, එයින් පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 19යි, සෙන්ට්‍රල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 06යි වශයෙන් මූලික විය. දිනයේ සියලු ගනුදෙනු අවසානයේ විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 15ක ශුද්ධ මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල කෘතිම මිල ඉහළයාමක් සිදුවන බවට බොහෝ ආයෝජකයෝ චෝදනාකරති. ඒ සඳහා හේතු වී ඇත්තේ මහජනතාව වෙත නිකුත් කරන ලද අඩු කොටස් ප්‍රමාණයක් සහිත සමාගම්වල කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළට ගෙන යාමේ ප්‍රවණතාවක් දැකිය හැකි වීමයි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ විශ්වසනීයත්වය උදෙසා සෑම සමාගමක ම කොටස් මිල දිනයක් තුළ ඉහළ සහ පහළ යා හැකි උපරිම සීමාවක් දක්වා ඇති අතර දැනට සතියක පමණ කාලක සිට සමාගම් කිහිපයක එනම්, මහජනතාව වෙත අඩු වශයෙන් කොටස් නිකුත් කර ඇති සමාගම් කිහිපයක වෙළෙඳ පොළේ මිල ගණන් ලැයිස්තුව පරීක්ෂා කිරීමේ දී දිනයේ ඉහළ යා හැකි උපරිම සීමාව දක්වා එහි සියළු කොටස් මිල දී ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස දක්නට ලැබේ.

උදාහරණයක් ලෙස AMS සමාගම, LOLC Development finance සමාගම, Samson International සමාගම දැක්විය හැකිය. මෙසේ කෘතිම ලෙස මිල ගණන් ඉහළයාම හේතුවෙන් සතියකට පමණ පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ වත්කම් ලැයිස්තුවේ පහ ස්ථානයක තිබූ LOLC Development finance සමාගම (පෙර නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම) අද දිනය වනවිට කොළඹ කොටස් වෙළෙද පොළේ වටිනාම සමාගම් අතුරින් 04 වැනි ස්ථානයට පත්ව ඇත.

ඒ අනුව අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වල වටිනාකම් ගණනය කිරීමේ දී LOLC සමාගම රුපියල් බිලියන 198ක්, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 182ක්, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් බිලියන 180ක්, LOLC Development finance සමාගම (නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම) රුපියල් බිලියන 117ක්, කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 106ක් ලෙස දැක්විණි.

මෙම තත්ත්වය ඉදිරියට වර්ධනය වෙතැයි අපේක්ෂා කළ හැකි කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කෙරෙහි අහිතකර ලෙස බලපෑමටත් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටීමටත් හේතුවිය හැකි බවට සාධක ඉදිරිපත් වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!