spot_img
spot_imgspot_img

“මකර මිනිසා” චීනයෙන් හමුවෙයි. නූතන මිනිසාගේ සමීපතම ඥාතියා ?

පුවත්

විදෙස්

උතුරු චීනයෙන් නූතන මිනිසාගේ පූර්වජයකු ලෙස සැළකිය හැකි වඳවී ගිය මානව විශේෂයක් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

චීනයේ හාර්බින් ප්‍රදේශයෙන් හමු වූ හිස්කබලක් විශ්ලේෂණය කිරීමෙන් මේ නව මානව විශේෂය අනාවරණය කර තිබේ.

අදින් වසර 90කට පමණ පෙර උතුරු චීනය අල්ලාගෙන සිටි ජපන් හමුදාවේ සොල්දාදුවන් පිරිසක් විසින් හාර්බින්හි සොන්ගුවා ගංඟාව හරහා පාලමක් තැනීමේ දී චීන ජාතිකයකු මෙම හිස්කබල හමුවී තිබේ. එය ජපන් සොල්දාදුවන්ට හමුවීම වැළැක්වීම සඳහා ඔහු එම හිස්කබල ළිඳක සඟවා තබා ඇත. පසුව මහළු වියට පත් එම පුද්ගලයා තම මුණුපුරන්ට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව එය ගොඩට ගෙන තිබිණි. නමුත් ඔහු මියයාමට පෙර එම හිස්කබල හමුවූ ස්ථානය නිශ්චිත ලෙස පන්වා නොතිබිණි.

මේ හිස්කබල පිළිබඳ පරීක්ෂණ කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ අදින් වසර  146,000 කට පෙර ජීවත් වූ මානව පරිනාමයේ මෙතෙක් සොයා නොගත් මානවයෙක් මෙලෙස සොයාගෙන ඇති බවයි. ඔහු “මකර මිනිසා” ලෙස ද ඔවුහු හඳුන්වා ඇත.

හෙබෙයි තාක්ෂණ හා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ හිස්කබල පිළිබඳ අධ්‍යයනය කර ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව The Innovation සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ. ආචාර්ය ක්වාන්ගි ජි ඇතුළු පර්යේෂණ කණ්ඩායම මේ නව මානව විශේෂය Homo longi ලෙස නම්කර තිබේ. මැන්ඩරින් භාෂාව අනුව එහි අර්ථය වන්නේ මකර මිනිසා යන්නයි.

පර්යේෂකයන් පවසන්නේ හෝමෝ සේපියන්ස් මානවයාගේ සහෝදරය කණ්ඩායමක් වන අතර හෝමෝ නියැන්ඩර්තාල්වරුන්ට වඩා මොවුන් නූතන මානවයාට සමීප මානව විශේෂයක් බවයි. නමුත් ‍මේ සොයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නකරන පිරිසක් පවසන්නේ සයිබීරිය‍ාවේ අල්ටයි කඳුකරයෙ ගුහාවක තිබී සොයාගන්නා ලද ඩෙනිසෝවරුන් ලෙස හඳුන්වන ලද මානව විශේෂයේ ම හිස්කබලක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ මාර්ටා මිරාසන් ලාහ්ර් පවසන්නේ “මානව පරිනාමයේ දී දිගු කාලයක් පුරා සොයාගත නොහැකිව තිබූ සහෝදර පරම්පරාවක් පිළිබඳ අනාවරණය වී ඇතැයි තමන් විශ්වාස කරන බවයි.” එමෙන්ම එය පුදුමාකාර හිස්කබක් යැයි ඇය පවසන්නීය.  

පාලම සාදන කාලයේ දී සොයාගනු ලැබ ළිඳක සඟවා තිබූ හිස්කබල පිළිබඳ තම සීයා කරන ලද හෙළිදරව්ව අනුව ගිය මුණුබුරන් විසින් හිස්කබල හෙබෙයි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබිණි. නමුත් එය හමු වූ ස්ථානය පිළිබඳ නිශ්චිතව නොදන්නා බැවින් එහි භූ විද්‍යාත්මක සන්දර්භය පිළිබඳ ගැටලුවක් මතු වී තිබේ.

භූ විද්‍යාත්මක සන්දර්භයක් නොමැති වුව ද පර්යේෂණ කණ්ඩායමේ සිටි භූ විද්‍යාඥ රේනර් ග්‍රෝන් සහ ඔහුගේ සහායකයන් විසින් වසර 138,000ත් 309,000ත් අතර කාලයකට පෙර එහි නාසයේ තැන්පත්වන්නට ඇතැයි සැකකෙරුණු අවසාධිතවල තිබූ ස්ට්‍රොන්ටියම් සමස්ථානික පිළිබඳ පර්යේෂණ කරනු ලැබීය. ඒ අනුව තහවුරු වූයේ අස්ථිය මත ඇති යුරේනියම් අවම වශයෙන් වසර 146,000ක් පැරණි බවයි. මේ අනුව පර්යේෂකයන්ගේ නිගමනය වූයේ මේ මානවයා වසර 146,000ට පෙර මිහිතලය මත ජීවත්ව ඇති බවයි.

චීන විද්‍යා ඇකඩමියේ සහ හෙබෙයි භූ විද්‍යා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ මේ හිස්කබල හඳුනාගැනීමට ගති ලක්ෂණ 600කට වැඩි ප්‍රමාණයක් වෙනත් මානව විශේෂයන්ගේ හිස්කබලේ ගති ලක්ෂණ හා සන්සන්දනය කළහ. එය සිදුකරන ලද්දේ දත්ත කට්ටලයක් සකසා විශ්ලේෂණය කිරීමට පරිගණක සංඛ්‍යාන ක්‍රම භාවිතා කරමිනි. එහි දී හිස්කබලේ සියුම් කොටස්වල දිග පළල අස්ථි ඝනකම, දත්වල ස්වභාවය පවා පරීක්ෂා කර බැලිණි.

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති වෙනත් හෝමෝ ඝනයට අයත් වෙනත් පොසිල, හිස්කබල්, හකු හෝ දත් සමඟ ද මෙය සන්සන්දනය කෙරිණි.

එහි දී ඇති වූ විශාලතම ගැටලුව වූයේ මේ දැවැන්ත හිස් කබලෙහි මොළය නූතන මිනිසාට බොහෝ සෙයින් සමාන කළ හැකි දාරිතාවකින් යුතු මොළයක් වීමයි. නමුත් මේ හිස්කබලේ හිමිකරුවා හෝමෝ සේපියන්ස් මානවයකු නොවන බව තහවුරු වන්නේ නූතන මිනිසාට වඩා විශාල අක්ෂි කුහර, ඇස් වැටි, පුළුල් මුඛයක් සහ විශාල හනු පිහිටා තිබූ බැවිනි.

පරිගණක විශ්ලේෂණයෙන් පෙනී ගියේ අදින් වසර 789,000 සිට 130,000 අතර කාලයේ දී මධ්‍යම චීනයේ ප්ලයිස්ටොසීන් යුගයේ හිස් මානව විශේෂ කිහිපයක් ඇතුළත්වන පරිනාමික ගසක සිටින මානව පොකුරකට මෙම මානවයා ද ඇතුළත් කළ හැකි බවයි. එමෙන් ම හෝමෝ මානවයන් පරම්රා කිහිපයක් මිහිතලය මත එකම යුගයේ දී ජීවත්වන්නට ඇති බවට මෙම හිස්කබල ද සාක්ෂියක් සපයයි.

මෙම මානවයා ටිබෙට් සානුවේ ෂියාගේ ගුහාවෙන් හමු වූ හකු ඇටයක් හිමි මානවයා හා වඩාත් සමීප බව ද පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. එම හකු ඇටයේ ඇති ප්‍රෝටීන හා එම ගුහාවේ අවසාදිතවල ඇති පැරණි ඩීඑන්ඒ ද සාක්ෂි දරන්නේ සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවෙන් හමු වූ වසර 280,000 සිට 55,000 දක්වා කාලයේ ජීවත් වූ ඩෙනි‍සෝවන් මොවුන් වඩාත් සමීපය.

නූතන මිනිසුන් තුළ ඇති ඩීඑන්ඒ ඇති බවට පැහැදිලිව හඳුනාගෙන ඇති මානව පොසිලය වන්නේ ඩෙනිසෝවා ගුහාවෙන් හමු වූ රෝස පැහැති හකු අස්ථිය, දත් සහ හිස්කබල කොටසයි. ටොරොන්ටෝ විශ්වවිධයාලයේ පුරා මානව විද්‍යාඥ බෙන්ස් වියෝලා පවසන්නේ මෙම නව සොයාගැනීම ඩෙනිසෝවා මානවයා හා ගැලපේ යැයි තමන් විශ්වාස කරන බවයි.

ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥ ක්‍රිස් ස්ට්‍රිංගර් මෙසේ කියයි.

“මම හිතන්නේ චීනයෙන් හමු වූ මේ හිස්කබල බොහෝ විට ඩෙනිසෝවන් කෙනෙකුගේ විය හැකියි.”

නමුත් මේ දක්වා හිස්කබලෙන් ප්‍රෝටින ලබාගෙන ඒ ගැන පර්යේෂණ සිදුකර නැත. කෙසේ වෙතත් මේ අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ එම හිස්කබල හිමි මානවයා එකම කාලයේ ජීවත් වූයේ යැයි අනුමාන කරන හෝමෝ නියැන්ඩර්තාල් මානවයාට වඩා මුල් කාලීන හෝමෝ සේපියන්ස්ට වඩාත් සමීප බවයි.

නියැන්ඩර්තාල් මානවයා මිහිතලයෙන් වඳ වී ගියේ අපේ ම හෝමෝ ඝනයේ සමීපතම මානවයකු නිසා යැයි බොහෝ පර්යේෂකයෝ විශ්වාස කළහ. මේ නව සොයාගැනීමෙන් තහවුරු වන්නේ හෝමෝ ලෝන්ගි හෝමෝ සේපියන්ස්ලාගේ සැබෑ ම සහෝදර කණ්ඩායම බවයි.

මෙම හිස්කබලේ ප්‍රමාණය හා එහි ඇති සම්පූර්ණත්වය ගැන පර්යේෂකයෝ විමතියට පත්වෙති. “මේ අනාවරණය දුටුවිට මම පුටුවෙන් වැටුණා” යැයි හබ්ලින් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!