spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නව ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය

පුවත්

විදෙස්

අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගීන්, අවයව සහ සිරුරු කොටස් බද්ධ කරන ලද රෝගීන්, හදවත් රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැනි පුද්ගලයන් සඳහා REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය හදිසි භාවිතය සඳහා ලබාදීමට ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දී තිබේ.

ලෝකවේ දැවැන්ත ඖෂධ සමාගමක් වන රෝච් (Roche) සමාගම මෙය නිෂ්පාදනය කරයි.

 මේ සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය හිමි වීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජපානය සහ යුරෝපා සංගමයේ රටවල් වන ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, බෙල්ජියම, එස්තෝනියාව, අයිස්ලන්තය, චෙක් රිපබ්ලික් සහ යුරෝපා නොවන රටවල් වන ඊශ්‍රායලය සහ සර්බියා යන රටවල හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වී තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍ය අධිකාරීන් වෙත ඉදිරිපත් කරන ලද දත්ත වාර්තා හා යුරෝපා පාලන අධිකාරීන්හි විද්‍යාත්මක මතය සළකා බැලීමෙන් අනතුරුවය එම රටවල ඊට අනුමැතිය හිමි වී තිබිණි.

ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ස්විට්සර්ලන්තයේ Roche සමාගම සහ එක්සත් ජනපදයේ Regeneron සමාගම විසින් සොයා ගෙන නිෂ්පාදනය කරනු ලබන REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය මෙරටට ආනයනය කරනු ලබන්නේ SLIM Pharmaceuticals පෞද්ගලික සමාගම විසිනි.

REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණයට කොවිඩ් 19 නිසා රෝහල්ගත වීමට සිදු වීමේ අවදානම 70%කින් අඩු කරන බව පර්යේෂණවලින් තහවුරු කර ඇති අතර අධි අවදානම් රෝගීන්ගේ ජිවිත අහිමි වීම 71% කින් අවම කරන බව සහ රෝග ලක්ෂණ පෙන්වන කාලසීමාව සතියක් දක්වා අවම කරන බවටද තහවුරු වී ඇත.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණවලින් තහවුරු කර ඇති ආකාරයට රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය 81% කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම 31% කින්ද අවම කිරීමට සහ ඔක්සිජන් සැපයීම අත්‍යවශ්‍ය වීම වැළක්වීමට මෙම ඖෂධයට හැකියාව ඇත.

“REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා සොයාගත් විප්ලවීය විසඳුමක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන් රෝගය අවදානම් තත්ත්වයට පත්වීම වැළක්වීම සඳහා මේ ඖෂධයට සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ හැකියි. මේ ප්‍රතිකාරය අපේ සෞඛ්‍ය සේවාව තුළට සම්බන්ධ කරගැනීම හරහා දැනට සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් මරණ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකට අවම කරගැනීමටත් අපට හැකි වනු ඇති.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් SLIM Pharmaceuticals සමාගමේ සභාපති සුමිත් ප්‍රේමරත්න පවසයි

REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය මොනෝක්ලෝනල් ප්‍රතිදේහ ද්විත්වයක් වන Casirivimab හා Imdevimab භාවිතා කර නිර්මාණය කර ඇති. පර්යේෂණාගාර තුළ නිෂ්පාදිත ප්‍රෝටීන වෙයි. ඊට වයිස් වැනි රෝගකාරක විනාශ කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති හැකියාව අනුකරණය කිරීමට හැකියාව තිබේ. Casirivimab හා Imdevimab යන ප්‍රතිදේහයන් SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ඊට වයිරසය මානව සෛලවලට ඇලීම සහ ඇතුළු වීම වැළක්විය හැකි බව පර්යේෂකයෝ කියති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මෙසේ කීවේය. “REGN-COV2 ප්‍රතිදේහ සංයෝගයේ අන්තර්ගත Casirivimab හා Imdevimab ප්‍රතිදේහයන්ට කොවිඩ් 19 ආසාදිත රෝගීන් හට රෝහල්ගත වීමට හෝ මරණයට පත්වීමට ඇති අවදානම අවම කිරීමට ඇති හැකියාව සායනිකව තහවුරු කර තිබෙනවා. මේ විසඳුම ශ්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් හඳුන්වාදිය හැකිවීම ඉතා වැදගත් පියවරක් වනු ඇති බව නොඅනුමානයි.”

මෙම ප්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ්‍රනය කොවිඩ් 19 වයිරසයේ වෙනස් වෙන නව ප්‍රභේදයන් හට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති අතර ඒ හැකියාව නව ප්‍රභේද කොතෙක් පැමිණිය ද නොවනස්ව පවතින බව ද පර්යේෂකයෝ කියති.

මෙම ප්‍රතිදේහ මිශ්‍රණය මෘදු හා මධ්‍යස්ථ කොවිඩ් 19 වයිරස ආසාධනයක් ඇති වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 12 ට වැඩි අවදානම් තත්ත්වයට රෝගය පෙරළිය හැකි රෝගීන් සඳහා නිර්දේශිතය. මෙලෙස අවදානම් තත්ත්වයට පත් විය හැකි රෝගීන් වන්නේ වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් හා අඩු ප්‍රතිශක්ති හැකියාවක් ඇති, පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබන, ඇට මිඳුළු බද්ධ කිරීම හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ හදවත් රෝග, පෙනහළු රෝග හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ය.

කොරෝනා වසංගය නිසා ලොව දෙවැනියට වැඩියෙන් ම බලපෑමට ලක්ව ඇති රටවන ඉන්දියාව මැයි මස 24 වැනි දින සිය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය (CDSCO) හරහා REGN-COV2 හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ඉන්දියාව පුරා ප්‍රධාන රෝහල්වල සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මෙම ප්‍රතිකාරය දැන් ලබාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!