spot_img
spot_imgspot_img

ළමා සිත් පුබුදු කළ “සුරංග මාමා” දිවිසැරිය නිමා කරයි

පුවත්

විදෙස්

සුරංග මාමා හෙවත් ආනන්ද කුමාරගේ අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගියේය. 68 වැනි වියේ පසු වූ හෙතෙම කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිටියේය.

1973 වර්ෂයේ සිට “සුරංග මාමා” ලෙස හඳුන්වන්නට වූ හෙතෙම යක්කලමුල්ලේ උපන්නෙකි. සහෝදර සහෝදරියන් 13 දෙනකුගෙන් යුතු හෙතෙම පාසල් 13ක ඉගෙනුම ලැබූවෙකි. නිවසින් හතර වතාවක් පැන ගොස් ඇත්තෙකි.

රජයේ මිනින්දෝරුවකු වූ පියා ඔහු 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී මෙළොව හැර ගියේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඔහු වැඩිමහල් සොහොයුරියක විසින් කොළඹ රැගෙන ගොස් පුංචි බොරැල්ලේ පාසලකට ඇතුළත් කළෙන් ආනන්ද කොළඹට සංක්‍රමණය වීම සිදුවිය.

වයස අවුරුදු 17 දී නිවසින් පපැන ගොස් සියඹලාණ්ඩුවේ ලී මඩුවක වැඩට එක්වූ ආනන්ද පසුව යළි නිවසට පැමිණ ගමේ විහාරස්ථානයේ නැවතී උසස් පෙළ හැදෑරුවේය. ඔහුගේ පළමු නාට්‍ය නිර්මාණය කළේ උසස්පෙළ හදාරමින් සිටිය දී ය.

මේ නාට්‍යය දුටු සිංහල ගුරුතුමා සුරංග මාමාව ධෛර්යමත් කළේය. ඔහුගේ හිතවත් ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වෙහෙරගම්පිට ඕල්කට් මහා විද්‍යාලයේදී සුරංග මාමාගේ ප්‍රසංගයක් පැවැත්වූවේය. ඒ ශත දහය ගාණේ අය කරමිනි. තොප්පි වෙළෙන්දා, දෙව්දර පෙරහර, සතුන්ගේ සංගීත සංදර්ශනය, කාලගෝල නාට්‍ය යන සියල්ල ඔහු තනිවම රඟපෑවේය. එතැනින් ඇරඹුණු සුරංග මාමා රටේ බොහෝ පාසල්වල නාට්‍ය ප්‍රදර්ශනය කළේය. මේ වනවිට ඔහු පාසල් වාර පන්දාහකටත් වැඩි ප්‍රමාණයක් සහ ළදරැ පාසල් වාර තුන්දහසක තම නාට්‍ය පෙන්වා තිබිණි.

මේ කාලයේදී ජාතික රෑපවාහිනිය ඇරුඹිණි. සුරංග මාමා ගුවන්විදුලියේ රුහුණු සේවයේද සේවය කළේය. හේමජිත් ප්‍රනාන්දු මාර්ගයෙන් සුරංග මාමා රූපවාහිනියට එකතු වූවේය.

1992 වසරේදී ස්වාධීන රෑපවාහිනී සේවය ළමා වැඩසටහන් ආරම්භ කළේය. එයටද සුරංග මාමා සම්බන්ධ වූවේය. ළමා වැඩසටහන් 117ක් විකාශනය විය. ඒ සුවඳ පද්ම ළමා වැඩසටහනයි. එම වැඩසටහනේ චිත්‍ර පාඩමට එකතු වූයේ සිබිල් වෙත්තසිංහය. ඒ ඔස්සේ සුරංග මාමා ඉතා ජනප්‍රිය විය.

සුරංග මාමා තමන් නිර්මාණය කළ කතා පොත් ලෙසද නිර්මාණය කළේය. සිබිල් වෙත්තසිංහ කලා ජීවිතයේ 50 වැනි වසරේදී සුරංග මාමා ලියූ සිත්තර නැන්දා නම් ළමා කතාව සිබිල් විසින්ම චිත්‍ර ඇඳ නිකුත් කරන ලදී.

2005 වසරේදී සුරංග මාමා ඔහුගේ ළමා කතා රූගත කළේය.

2011 දී සුරංග මාමා ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම් විය. ඒ උදෑසන අටේ සිට පසුවදා උදෑසන අට දක්වා වේදිකා දොළහකදී වැඩසටහන් ඉදිරිපත් කරමිනි. මේ අතර කාලයේදී ඔහුට ඉතා සුළු විවේකයක් ලැබුණි. ඔහු ගම්මිරිස් සහ රතුලූනු දැමූ පොල් සම්බෝලය සමඟ රතු කැකුළු බත් කා මුළු දවසම වැඩ කළේය. ගිනස් වාර්තාව තැබුව ද එම වීඩියෝව යැවීමට ප්‍රමාද වීමෙන් ලැබිය යුතු මුදල සහ සහතිකය ඔහුට අහිමි විය.

ගාල්ලේ හෙද විදුහලේ රඟපෑමට ගිය අවස්ථාවේ දැන හඳුනාගත් හෙද ශිෂ්‍යාවක වූ විජිතා මානෙල් රණසිංහ සමඟ විවාහ වූ සුරංග මාමා දියණියකගේ සහ පුතකුගේ පියෙකි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවය කළ දියණියට සිංහල, දෙමළ, ජපන්, හින්දි, උර්දු සහ ඉංග්‍රීසි භාෂා කතා කිරීමේ හැකියාව ඇත. අද ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින්නීය. සුරංග මාමාගේ පුතු පරිගණක තාක්ෂණික ඉංජිනේරුවරයෙකි.

කලා‍ ක‍්ෂේත්‍රය දිග්විජය කළ සුරංග මාමා කුඩා ලොරි රථයක් මිල දී ගෙන එය තමන්ට සුදුසු කාමරයක් ලෙස සකසා ගත්තේය. තම නිර්මාණවලින් එහි පිටත අලංකාර කළ ඔහු දේදුනු වර්ණ ඇඳුමකින් සැරසී ළමයින් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කරමින් රට පුරාම සංචාරය කළේය.

නමුත් පිළිකාවක් හේතුවෙන් රෝගාතුර වූ සුරංග මාමා අද තම ජීවිතයෙන් සමුගත්තේ ළමා ලෝකයේ සදාතනික මතකයක් ඉතිරි කරමිනි.

3 COMMENTS

  1. හෙද නිලධාරිනියක් වු ඔහුගේ බිරිඳටත් , භාෂා පහ හයක් කතා කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා විවාහ වුණු එකම දියණියටත්, පරිගණක ඉංජිනේරුවෙක් වු එකම පුතාටත් , තම ආදරණීය පියාණන්ගේ මෘත දේහය භාරගැනීමට බැරි වීම හාස්‍යයට කරුණක් … (සංචරණ සීමා තියෙන හින්ද නෙවෙයි හොඳේ ) ඒ වගේම බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ , යක්කල පාරේ , ස්ථිර පදිංචියක සිටි සුරංග මාමා , කාත් කවුරුවත් නැති අසරණයෙක් ලෙස , බද්දේගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක, පසුගිය වසර එකහමාර ගතකර , රෝගය උත්සන්න වූ අවස්ථාවේ දී එම ස්ථානයෙන් ද පිටමන් කළ සුරංග මාමා , ගාල්ල කරාපිටිය රෝහලේ දී මිය යන්නේ , ඇයි ? බස්නාහිර පළාතේ කිසිම ඔහුට සුදුසු රෝහලක් තිබුණෙ නැද්ද ? සියල්ල මෙසේ සිදුවෙද්දී , විශේෂ අවශ්‍යතා ඇති දියණියක් සිටින වැඩිමහල් සොහොයුරිය , තම සහෝදරයා ගේ මෘත ශරීරය , ඉතාමත් ආදරයෙන් , මාතර මාලිම්බඩ ඇයගේ නිවසට ගෙනගොස් , අවසන් කටයුතු සිදු කිරීමට වෙර දරන අතරතුර , සුරංග මාමා ගේ ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා, දේපල බෙදා, බදා ගැනීමේ අරගලයක ද යෙදී සිටින බව , හුදී ජනතාවගේ පහන් සංවේගය උදෙසා , මෙම අසම්පූර්ණ සටහනට කාරුණිකව ඇතුලත් කරන්න …

Leave a Reply to Sanath Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!