spot_img
spot_imgspot_img

මෙරට වවුලන් අතර කොරෝනා ඇතැයි කියන කතාව බොරුවක්. කරුණු විකෘති කරලා

පුවත්

විදෙස්

මිනිසුන් අතර පැතිරයන කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා ප්‍රභේද සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක පළ වී ඇති පුවත ‍නිවැරදි තොරතුරු විකෘත්ති කිරීමක් ව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉනෝක පෙරේරා පවසයි.

එම ජාතික පුවත්පතේ පළ වූ ශීර්ෂපාඨයේ දැක්වෙන්නේ “ලංකාවේ වවුලන්ටත් කොරෝනා” යනුවෙනි එමෙන්ම එහි පළමු ඡේදයේ “මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී තිබේ” යනුවෙන් දක්වා ඇත.

මෙය සත්‍ය කරුණු විකෘති වීමක් බව එම පර්යේෂණය සිදුකළ කණ්ඩායමෙන් අප කළ විමසීමක දී ඔවුන් කියා සිටියේය.

ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) සහ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙරට වවුලන් ගැන 2017 වර්ෂයේ සිට දීර්ඝකාලීන අධ්‍යයනයක් සිදුකරන අතර එම අධ්‍යයනය මේ වනවිටත් සිදුවෙමින් පවතී. එම අධ්‍යයනය අතරතුර කිසිම අවස්ථාවක දැනට වසංගතයක් ලෙස පැතිරයන කොරෝනා වයිරසේය කිසිදු ප්‍රභේදයක් සහිත එකම වවුලෙක් හෝ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන නැතැයි මහාචාර්ය ඉනෝක පෙරේරා පැහැදිලිව ප්‍රකාශ කරයි.

එම පර්යේෂණ මගින් වවුලන්ගේ චර්යාවන්, ‍භෝජන රටා, ඝහනය පවත්වාගෙන යාම, පෝෂණය, සංචරණ ස්වභාවයන් මෙන්ම ඔවුන් අතර බෝවන රෝග පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ. එම පුවත්පතේ පළකර ඇති ලිපියේ දැක්වෙන ආකාරයට ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා ඇතුළු කණ්ඩායමක් විසින් කොස්ලන්ද “වවුල් ගල්ගේ” නමැති ගුහාවේ සිටි වවුලන් 400කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකර ඇතැයි කියන කතාව ද සත්‍යයකි. එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරස කාණ්ඩයක් සහිත වවුලන් 33 දෙනකු සොයාගෙන තිබේ.

මහාචාර්ය ඉනෝක පෙරේරා එම පර්යේෂණය පිළිබඳ මෙසේ කීවේය.

“වවුලන් කියන්නේ මිනිසා වගේම කිරිබී වැඩෙන හෙවත් ක්ෂීරපායී සත්ත්ව විශේෂයක්. මිනිසුන්ට වැළඳෙන බොහෝ රෝග මේ සතුන්ටත් හැදෙන්න පුළුවන්. අපි ඒ ගැන පර්යේෂණ කළා. එහි දී පීසීආර් පරීක්ෂණ කිරීමේ දී වවුලන් අතර තිබී කොරෝනා වයිරසයේ ප්‍රබේද හමුවුණා. නමුත් කිසිසේත්ම වරදවා වටහාගන්න එපා මේ හමුවුණේ දැනට ලෝකය පුරා පැතිරීයන කොරෝනා වයිරසයේ කිසිදු ප්‍රබේදයක් නොවෙයි. කොරෝනා වයිරසය කියන්නේ විශාල වයිරස කාණ්ඩයක්. ඒකේ කාණ්ඩ කිහිපයක් හා ප්‍රභේද ගොඩක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වවුලන් අතර මේ වසංගතයට හේතුවන කොරෝනා වයිරසය හමුවුණේ නැහැ. මේ වනවිට වසංගතයක් වී ඇති කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් පැතිරීම ආරම්භවූයේ වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමෙන්යැයි ඇතැම් පිරිස් කියා සිටියත් එය තවමත් විද්‍යාත්මකව පිළිගෙන නැහැ. ඒක ජනප්‍රිය කතාවක් විතරයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ වවුලන්ටත් කොරෝනා තියෙනවා කියන එක සමාජයේ වැරදි විදියට ජනගත වෙන්න පුළුවන්. එය විශාල හානියක්.”

කෙසේ වෙතත් එම ලිපියට අදහස් දක්වා තිබූ පර්යේෂණයට සම්බන්ධ වූ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා පැහැදිලිව ම පවසා ඇත්තේ මෙම අනාවරණය පදනම් කරගෙන අහිංසක සත්ත්ව විශේෂයක් වන වවුලන්ට අනතුරු කිරීමෙන් ‍වළකින ලෙසයි.

එම ලිපියේ ශීර්ෂපාඨය සහ පුවත්පතේ පළමු පිටුවේ ඇති පළමු ඡේදය කියවන ඕනෑම අයකු මෙම පර්යේෂණය වැරදි ආකාරයෙන් වටහාගෙන ස්වභාවික පරිසරයේ අඛණ්ඩ පැවැත්ම සඳහා අතිවිශාල මෙහෙවරක් කරන වවුලන්ට හානිකිරීමේ අවදානමක් ද පවතී. මේ වනවිටත් එම ලිපිය පදනම් කරගනිමින් ඇතැම් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ වැරදි ප්‍රචාරයක් ලබා දෙමින් පවතින ආකාරය ද අපට නිරීක්ෂණය කළ හැකිවිය.

බීජ ව්‍යාප්තියට, පළිබෝධ පාලනයට සහ ශාක පරාගණය සඳහා සුවිශාල දායකත්වයක් දක්වන වවුලන් ආරක්ෂා කිරීම සියලු මනුෂ්‍ය වර්ගයාගේ යුතුකමකි. වවුලන් නොමැති පරිසරයක් විනාශවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!