spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

පුවත්

විදෙස්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් විදුහල්පති තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත්ව ආවේ පසුගිය 2020 ඔක්තෝබර් 27 වැනි දාය. කොළඹ නාලන්දයේ සිට ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණ ටික දිනකින් එනම් දෙසැම්බර් මස 04 වැනි දා ඔහු සිටි නාලන්දා විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු පත්කරගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබිණි.

රිච්මන්ඩ් විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු ලෙස පැමිණි තිලක් වත්තුහේවා එම ධූරයට අයදුම් කළේය. රිච්මන්ඩ් විදුහල්පති ධූරයේ වසරක් රාජකාරී කිරීමට පෙර මේ ස්ථිර විදුහල්පතිවරයා දැන් යළි නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවීමට සුදුසුකම් සපුරා ඒ ධූරය භාරගැනීමට සූදානම්ව සිටියි.

විදුහල්පතිවරයකු ස්ථිර වශයෙන් පත්කර වසරක් ගතවීමට මත්තෙන් වෙනත් පාසලකට ඔහු පත්කර යවා කලින් පාසලේ විදුහල්පතිධූරය පුරප්පාඩු කිරීම කොතරම් සදාචාරාත්මක ද යන්න අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා යන දෙදෙනා වෙන ම විමසා බැලිය යුතුය.

දැන් රිච්මන්ඩ් විද්‍යාලයට විදුහල්පතිවරයකු අහිමිවීමේ අවධානමක් තිබේ.

මේ පිළිබඳ අප තිලක් වත්තුහේවාගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මම තාම දන්නේ නෑ වෙන්නේ මොකක් ද කියලා. රිච්මන්ඩ් විද්‍යාලයේ රාජකාරී ආරම්භ කළාට පස්සේ මම නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට සම්මුඛ පරීක්ෂණ සඳහා ගියා. මා තෝරාගෙන ද කියා මා දන්නේ නැහැ. මට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිධූරය දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කීවොත් වෙනත් පාසලකට යන්න කියලා මට යාමට සිදුවෙනවා.”

තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කර යළි වසරක් ගතවීමටත් පෙර ඔහු නාලන්දා විද්‍යාලයේ ස්ථිර විදුහ්ලපතිවරයා ලෙස පත්කරන්නේ ද එම කොමිෂම මගිනි. විදුහල්පතිවරයකු ස්ථිර යැයි පවසන්නේ පත්වීම් ලිපියේ පමණක් ද යන්න විමසා බැලිය යුතුය. ස්ථිර පදනම යටතේ පත්කරන විදුහල්පතිවරයකු අවම වශයෙන් වසර 03ක් හෝ පාසලක් සිටිය යුතු නොවේද ?

රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරාපත්කර එවනු ලබන විදුහල්පතිවරුන්ගේ සුදුසුකම් පරීක්ෂාකර බල කොමිසම මගින් අනුමත කරන බවයි. එහි දී විදුහල්පතිවරයකු පාසලක සිටි කාලය හෝ එහි සදාචාරාත්මක බව ගැන හෝ සොයා නොබලන බව ද හෙතෙම කීවේය.

මේ පිළිබඳ විමසීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කපිල පෙරේරා කියා සිටියේ විදුහල්පතිවරයකු පත්වීම් භාරගැනීමෙන් පසු පාසලක වසර 03ක් අවම වශයෙන් සිටිය යුතුයැයි කියා නීතියක් නොතිබූ බවයි. එය රාජ්‍ය සේවා පත්වීම් ලබාදීමේ දී රීතියක් ලෙස භාවිතා කරන ලද දෙයක් බවත් ඒ අනුව යම් අයකුට තමන් කැමති විද්‍යාලයකට යාමේ අවස්ථාවක් ඇති බවත් හෙතෙම කීවේය. වත්තුහේවා නාලන්දා විද්‍යාලයට අයදුම් කර ඇත්තේ එවැනි පදනමකින් බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරාය කියා සිටියේය.

කොළඹ පාසලක විදුහල්පතිධූරය යනු අධි වරප්‍රසාදිත සහ පහසුකම් සහිත විදුහල්පතිධූරයක් බවත්, ඔවුන්ට ලැබෙන්නා වූ සමාජ පිළිගැනීම හා බලය අසීමාන්තික බවත් අප කවුරුත් දන්නා කරුණකි. ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර වැනි වෙනත් දිස්ත්‍රික්කයන්හි පාසලක විදුහල්පති ධූරයට වඩා කොළඹ සුපිරි පාසලක විදුහල්පතිධූරයට පත්වීමට ඕනෑම පුද්ගලයකු අකමැතිවීමට හේතුවෙක් නැත. එබැවින් තිලක් වත්තුහේවා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරය භාර ගැනීමට තීරණය කිරීම පුදුමයට කරුණක් නොවේ.

ගැටලුව ඇත්තේ ඔහුගේ නොවේ පාසලක පත්කරන ස්ථිර විදුහල්පතිවරයකු වසරක් ගතවීමට පෙර වෙනත් පාසලකට යැවීමට තරම් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. අධ්‍යාපන බලධාරීන් මේ වරද නිවැරදි නොකළහොත් කොළඹ පාසල්වලට හැර අනෙකුත් පාසල්වලට ස්ථිර විදුහල්පතිවරු නොමැතිවනු ඇත.

මහින්ද විද්‍යාලයට පසුගිය දින පත්ව ආ නව ස්ථිර විදුහල්පතිවරයා ද 2021 වසර අවසානයේ කොළඹ වෙනත් විදුහලකට අයදුම් කර මාරු වී ගියහොත් සිදුවන්නේ මෙවැනිම හානියකි. මේ ඊනියා විදුහල්පති මාරුවට වැට බැඳිය යුතුය. සුපිරි පහසුකම් අත්විදින විදුහල්පති භූමිකාවට නවතීමේ තිත තැබිය යුතුය. එය ‍එසේ නොකළහොත් කොළඹට විදුහල්පතිවරු නිර්මාණය කරන පුහුණු පාසල් බවට අනෙකුත් ජාතික පාසල් පත්වීම වැළැක්වීමට නොහැකිවනු ඇත.

9 COMMENTS

  1. රිච්මන් විද්‍යාලයේ විදුහල්පති රිච්මන්ඩ් විද්‍යාලයෙන් පිටවන විට දකින අධ්‍යාපනයේ නිරුවත ඔහු නාලන්දා විද්‍යාලයෙන් පිට වෙද්දි දැක්කේ නැද්ද. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු ලෙස ඔහු නාලන්දා විද්‍යාලයට තේරී සිටිය දී ඔහුට එය ලබා නොදෙයි රිච්මන්ඩ් විද්‍යාලයට මාරු කර එවන ලදී. දේශපාලන හෙංචයියන්ට කඩේ නොයන කිසිවකු ඉදිරියේ කොන්ද නොනැමූ ඔහු නියම රාජ්‍ය සේවයක ලෙස තම රාජකාරි සෑම ස්ථානයකම නිවරදිව ඉටු කළ පුද්ගලයෙකි. එම නිසාම ඔහුට නාලන්ද යෙන් පමණක් නොව රටේ තවත් බොහෝ ස්ථාන වලින් ඇරයුම් ලැබුණත් පුදුම විය යුතු නැත . ඔහු දෙවන වතාවට ද සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා තමාගේ දක්ෂතාවය මත තේරී පත්වීම පළමු අවස්ථාවේදී තනතුරු ලබා නොදුන් සියලු දෙනාගේ කනට ගැසීම හා සමානය. ඔහු එම තනතුර භාර ගන්නවා ද නැද්ද යන්න ඔහුගේ තීරණයක් වන අතර රටට අවශ්‍ය වන්නේ තනතුරු ඉල්ලා දේශපාලනයන් ඉදිරියේ කොන්ද නමන නිලධාරීන් නොව හැකියාව හා දක්ෂතාවය තුළින් තනතුරු සඳහා පත් වන නිලධාරීන්ය.

  2. මෙයට පෙර තිබූ සම්මුඛ පරීක්ෂණයෙන් සියලු සුදුසුකම් සහිතව නාලන්ද විද්‍යාලයට තේරිලා තිබෙද්දි මෙතුමා රිච්මන්ඩ් විද්‍යාලයට ස්ථාන මාරු කළා. නාලන්දා විද්‍යාලයට විදුහල්පතිවරයකු පත් කරන්නේ නැතුව. දෙවෙනි වතාවටත් ඔහු සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී ඔප්පුකර පෙන්වනවා ඔහු ඒ සඳහා සුදුසු බව. සුදුසුකම් මත එතුමා නාලන්දා විද්‍යාලයට තේරී පත්ව සිටී

  3. තිලක් මහතා ගේ දක්ෂතාව සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු හැර අනෙකුත් පත්වීම සම්බන්ධයෙන් දක්වා ඇති ඉහත තිස්ස සහ ජීවන්ත දෙදෙනාගේ කරුණු සත්‍යතාවයක් නැති බව පමණක් දක්වමි.

  4. වත්තුහේවා මහතා රිච්මන්ඩ් විදුහලට පත්ව ආවේ ඔහු ඔහුගේ ඉල්ලුම්පතේ දෙවන මනාපය ලෙස රිච්ම්න්ඩ් විදුහල සඳහන් කරමින් අයදුම්කර තිබූ නිසයි. ඔහුට වඩා සුදුසුකම් වැඩි කෙනෙකු නාලන්දා විදුහහලේ විදුහල්පතිධූරයට පත්වීමට සිටි බැවින් ඔහුට ඔහුගේ දෙවැනි මනාපය වූ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ධූරය හිමිවුණා. ඒ නිසා ඔහුට නාලන්දය අතහැර යාමට සිදුවුණා. පැවති අධ්‍යාපන ප්‍රතිප්තතිය මත වසර 5ක් සේවය සපුරා නැතිව වෙනත් විදුහලක විදුහල්පති ධූරය භාරගත හැකි වන විදියට චක්‍රලේඛය වෙනස් කළේ කාගේ වුවමනාවට ද ? ඔහුගේ කාර්යයන් අති විශිෂ්ඨ බව ඇත්තක්. නමුත් ප්‍රතිපත්ති ගරුක නොවීම ගැන කණගාටුවෙමි.

  5. තිලක් මහතාට වඩා සුදුසුකම් ඇති විදුහල්පතිවරයකු නාලන්දා විදුහලට තේරීපත්ව සිටිය දී ඔහු වැඩ භාර නොගෙන තිලක් වත්තුහේවා ම ඒ සඳහා පත්කරන්නේ කාගේ බලපෑමෙන් ද ? ඊට රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් වගකිව යුතුය ද ?

  6. වසර හතරකයි මාස නමයක් ස්ථිර විදුහල්පති වරයෙකු නොමැතිව ගෙවීගිය දූෂණය, වංචාව හා සල්ලාලකම ඉහවහා ගිය අති දුෂ්කර කාලය නිම කරමින් පාසල නිවරදි මාවතට ගත් තිලක් වත්තුහේවා මහතාට සමස්ත රිච්මන්ඩ් ප්‍රජාව උපහාර කල යුතුය.
    2019 ජූලි මස 31 දින ජාතිත පාසල 206ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සදහා කැදවන ලද අයදුම් පත් අනුව 2020 ජනවාරි 24 සිට 26 දක්වා පැවති සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත්වූ වත්තුගේවා මහතා ඔහුගේ පළමු තේරීම වූ එතෙක් ඔහු වසර දෙකක් පමණ වැඩ ආවරණය කල කොළඹ නාලන්දා විදුහලට ඉදිරිපත්වූ අයදුම්කරුවන් අතරින් පළමු ස්ථානය හිමි නොවුවද, ඔහුගේ දෙවැනි තේරීම වූ රිච්මන්ඩ් විද්‍යාලයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් අතරින් පළමු ස්ථානයට තේරීපත් විය. අනතුරුව රාජ්‍යසේවා කොමිෂමෙන් රිච්මන්ඩ් විද්‍යාලයට ස්ථිර ව්දුහල්පති ලෙස පත්වීම අනුමතවීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ලෙස 2020.02.27 දින පත්වීම් ලැබුවද, එදිනම කොළඹ නාලන්දා විද්‍යාලයට පත්වීම් ලද නව විදුහල්පතිට නාලන්දා ආදිශිෂයන් ඇතිකළ විරෝධය හමුවේ වත්තුහේවා මහතාට රිච්මන්ඩ් විද්‍යාලයයේ විදුහල්පති පත්වීම තාවකාලිකව අත්හිටවන ලදි.
    රිච්මන්ඩ් විද්‍යාලය දිනෙන් දින අගාධයට යන අදුරු යුගය දිනෙන් දින දීර්ඝ වීම ඉවසිය නොහැකි නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිපත්තිගරුක නායකයෙකුගේ ඉල්ලීම අනුව අමාත්‍යාංශයෙන් නිකුත්කල පත්වීමේ ලිපිය රැගෙන ඉතා හොර රහසේ නාලන්දා නියෝජ්‍ය විදුහල්පිතිට 2020.10.27 දින උදෑසන වැඩභාරදී එදිනම උදෑසන 9ට රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පති ලෙස වත්තුහේවා මහතා වැඩ භාර ගන්නා ලදි.
    නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය 2020.11.05 දින කොළඹ නාලන්දා විදුහල ඇතු`ඵ ජාතික පාසල් 170ක පුරප්පාඩු ගැසට් කරන ලදි. මෙම ගැසට් පත්‍රය අරුම පුදුම ගැසට් පත්‍රයකි. එනම් එදිනට දින නමයකට පෙර වසර හතරකුත් මාස නමයක් වැඩ බලන විදුහල්පති වරයෙකු විසින් දිනෙන් දින අගාධයට ඇදගෙන ගිය රිච්මන්ඩ් විද්‍යාලයට ස්ථිර විදුහල්පති ලෙස පත්කළ වත්තුහේවා මහතාටද අයදුම් කල හැකි වන පරිදි එම ගැසට් පත්‍රය ඵලකිරීමයි. මෙම ගැසට් පත්‍රයේ මෙතෙක් කල් නිකුත්කල සෑම ගැසට් පත්‍රයකම තිබූ ජාතිත පාසලක ස්ථිර පත්වීමක් ලබා වසර තුනක් ඉක්මවන තෙක් නව තනතුරකට අයදුම්කළ නොහැක යන මූලික කොන්දේසිය නොමැතිවීම විමතියට කරුණකි.
    කෙසේ නමුත් 2020.12.04 දින අයදුම්පත් භාර ගෙන අවසන්වන විට වත්තුහේවා මහතාද නාලන්දා විද්‍යාලයේ පුරප්පාඩුවට අයදුම් කර තිබූ අතර ඒ අනුව 2021.01.09 දින පැවති සම්මුඛ පරීක්‍ෂණයෙන් එතුමාට පළමු ස්ථානය හිමි නොවූවත් ඔහුට වඩා එම තනතුරට සුදුසුකම් ලැබූවන් ඔවුන් අයදුම්කල තනතුර භාරගැනීම ප්‍රතික්‍ෂ්ප කිරීම නිසා වත්තුහේවා මහාතාට එම තනතුර හිමිවී එයට රාජ්‍ය සේවා කොමිෂමෙන්ද 2021.04.08 වැනි දින අනුමැතිය ලැබී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම ඉදිරි සතියේදී ලබාදීමට නියමිත බව ආරංච් මාර්ග පවසයි.
    අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම අත්තනෝමතික ක්‍රියාකළාපය නිසා රිච්මනන්ඩ් විද්‍යාලයේ දරුවන් 5000කට අධික සංඛාවකගේ සමානව අධ්‍යාපනය ලැබීමේ අයිතිය විනාශකර දමා ඇත. මහාචාර්ය ඇමතිවරයෙකුත් ආචාර්ය ලේකම්වරයෙකුත් මෙහෙයවන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහිංසක දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්‍ෂා කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
    රිච්මන්ඩ් දරුවන් වෙනුවෙන් මෙම අසාධාරණය රට හමුවේ නිති පතා ගෙන එන රට වෙබ් පිටුවට ස්තුතියි.

  7. රිච්මන්ඩ් එකට වත්තුහේවා අවශ්‍ය ඇයි.
    1- 2016.01.15 දිනට පාසල් සංවර්ධන සමිතියේ වත්කම් රුපියල් කෝටි තුනකට ආසන්න මුදල වසරක් ගතවීමටත් පෙර විනාශකර දමා සෑම වසරකම සුභපතන්නන්ගෙන් පාසලට ලැබුන ලක‍ෂ 120ක පමන වන දැවැන්ත මුදල් ප්‍රමානය සාක්කුවට දමාගත් යුගය නිමාකල නිසා.
    2- එම කාලය තුල අනීතික ලෙස පාසලට දරුවන් ඇතුලත්කර වසරකට රුපියල් මිලියන 30 ඉක්මවා වංචාකල යුගය 2021 වසරේදී නිමාකල නිසා.
    3- තරුණ ගුරුවරියන්ගේ අන්තඃ පුර පාලනයෙන් පාසල මුදවාගත් නිසා.
    4- පාලකයා දූෂීතයෙකු හා ඔහුගේ දූෂණ සදහා අනුබලදුන් කාර්යය මණ්ඩලයේ ඉවක් බවක් නැති දූෂණ නතරකර ඇති නිසා.
    5- විවිද ප්‍රතිලාබ බලාපොරෝත්තුවෙන් විදුහල්පතිට ලංවන දූෂිත ආදිශිෂ්‍යයන් ගෙන් දුරස්වී සිටින නිසා.
    6- ඔහු පාලනය කළ මාස හය තුල කොරෝනා උවදුර නිසා පාසල එක් දිනක් වත් සුපුරුදු පරිදි පැවැත්වීමට නොහැකි වුවත්, පවත්වන ලද දින කිහිපය තුල හා කොරෝනා නිසා පාසල් වසා ඇති දිනවල මාර්ගගතව අධ්‍යන කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යන නිසා,
    7- ්‍යලි පාසල් ඇරඹූවිට ක්‍රියාත්මක කළයුතු අධ්‍යන, ක්‍රීඩා හා විශය සමගාමී කටයුතු ඉතා හොදින් සැලසුම්කර ඇති නිසා.
    8- ගරාවැටුන රිච්මන්ඩ් සම්ප්‍රධායන් යලි නගා සිටවීමට කටයුතු කරන නිසා,

    කොළඹ නාලන්දාවට වත්තුහේවාම ගන්න දගලන්නේ ඇයි.
    1- නාලන්දාවේ 73% ක් වූ සාමන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 90% ඉක්මවා ඔහුගේ වසර දෙකක කෙටි පාලන කාලය තුළ අත්කරගත් නිසා.
    2- අඩු ආදායම් ලාභී ජනවාස වලට මැදිවී ඇති නාලන්දාවේ විනය නගාසිටවූ නිසා.
    3- එම ජනාවාස වල ප්‍රාථමික පංතිවල දරුවන් පාසලට පැමිණි විට පාසල අවසන්වූ පසු ඔවුන් පාසලෙහි රදවාගෙන දිවා ආහාරය පාසලෙන් සපයාදී ඉංග්‍රිසි, සංගීතය, ක්‍රීඩා හා විශය බාහිර කි්‍රයාකරකම් වල නිරත කරවා රෑබෝවූ පසු නිදාගැනීමට පමනක් ගෙවල්වලට යැවීම තුල එම දරුවන් එම අයහපත් පරිසරයෙන් මුදා ගැනීමේ සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරන නිසා.
    4- ගරාවැටුන නාලන්දා ක්‍රිකට් ක්‍රීඩාව එම කෙටි කාලය තුල යලි ස්ථාපිත කල නිසා.
    5- ගිනිගෙන විනාශවී ගරාවැටුන කුලරත්න ශාලාව සුභපතන්නගේ සහායෙන් ඉතා කෙටි කළකින් යලි සකස්කළ නිසා,
    6- පාසලේ දරුවන්ගේ සනීපාරක‍ෂක පහසුකම් ඉතා උසස් මට්ටමට ගෙන ආ නිසා.
    7- පාසලේ සෑම දරුවකුටම සමාන අවස්ථා ඇති කල නිසා.
    8- පාසලට ලැඛෙන සැම සතයක්ම සකසුරුවමින් පාසල් දරුවන්ගේ යහපත උදෙසාම යෙදවූ නිසා.

  8. යහ පාලන ආණ්ඩුව ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සදහා තම දේශපාලන හෙන්චයියන් වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පත්කර පාසල් පද්ධතිය විනාශ කරන ලදි. ගාල්ල නගරයේ රිච්මන්ඩ්, මහින්ද, ඇලවීශියස් හා සවුත්ලන්ඩස් සන ප්‍රධාන ජාතික පාසල් හතරටම එම කාලය පුරාවට මෙය කොඩිවිනයක් විය. මෙම විදුහල්පති වරුන් සිවුදෙනාටම එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයට, අල්ලස් කොමිසමට, වංචා දූෂණ විමර්ශණ ඒකකයට හා මානව හිමිකම් කොමිෂණ් සභාවට සතිපතා පැමිණිලි මිටි ගණන් ලැබුන බව එම ආයතන ප්‍රධානීන් ඉතා හොදින් දන්නවා ඇත.
    එම සෑම පැමිණිල්ලක්ම ප්‍රදේශයේ එවකට සිටි ආණ්ඩුපක‍ෂ නායකයන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් යට ගසාගෙන ඔවුන් තම ජවාරම ජයටම කරගෙන ගියබව දන්නෝ දනිති. මේ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහලම නිලදාරීන්ගේද සහාය මොවුනට අඩු නැතිව හිමිවී ඇති බව අද වුවද එම ලිපිගොනු වලට සිදුවී ඇතිි දේ විමසා බැලූවහොත් වත්මන් අධ්‍යාපන ලේකම් ආචාර්ය කපිල පෙරේරා මහතාට වටහා ගත හැකි වනු ඇත.
    මෙම සල්ලාල හොරුන්ගෙන් පාසල් පද්ධතිය බේරා ගැනීමට කඩිනමින් තිරසාර විසදුමක් ලබාදීමට පියවර ගත් හිටපු ගරු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාට පිං අත්විය යුතුය. එහිදී විසදා ගැනීමට නොහැකි වූ ගැටලූ වලට ස්ථීර විසදුම් ලබා දීමට කටයුතු කරණ වත්මන් ගරු අධ්‍යාපන ඇමති මහාචාර්ය පීරිස් මැතිතුමාට හා වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මොරටුව විශ්ව විද්‍යාලය නගාසිටවූ හිටපු උපකුළපති ආචාර්ය කපිල පෙරේරා ගුරුපියානන් අවංක උත්සාහයක් ගෙන කටයුතු කලද හොර ගුහාවක් වන අධ්‍යාපන අමාත්‍යාංශය අරක්ගත් පිසාචයන් එම ප්‍රයත්නය අවුල් කරන බවට හොදම උදාහරණය ලෙස මෙම චක්‍රලේඛන අවුල පෙන්වාදිය හැක.
    ඇදුම් මාරු කරන සේ ජාතික පාසල්වල ස්ථීර විදුහල්පතිවරුන්ට මාරු විය හැකි වන විදුහල්පතිවරු බදවා ගන්නා චක්‍රලේකයෙන් ඉවත්කර ඇති වගන්තිය නැවත ඇතුලත්කර මේ ඇතිවී තිඛෙන හා අනාගතයේදී පිලිකාවක් සේ වැඩිවිය හැකි අර්බුදයක් සරලව විසදා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

  9. විදුහල්පති තිලක් වත්තුහේවා මහතා රිච්මන්ඩ් විදුහල්පති ධුරයේ සිටිය යුත්තේ ඇයි ?

    රිච්මන්ඩ් විද්‍යාලයේ වත්මන් විදුහල්පති තිලක් වත්තුහේවා මහතා එම ධුරයෙන් ඉවත් කොට යළිත් කොළඹ නාලන්දා විද්‍යාලයට පත්කරයැවීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටී. විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයකින් පසු 2020 වසරේදී විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත්ව ආ ඒ මහතා එතෙක් කටයුතු කරනු ලැබුවේද කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධුරයේය.

    ඒ මහතා හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ එම කලාපයේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටුකළේය. කඩයිම් ලකුණු ඉතා අවම වීම නිසා සෙසු දිස්ත්‍රික්ක වල සිසුන් පවා හම්බන්තොට කලාපයෙන් උසස් පෙළ සඳහා ඉදිරිපත් වූ යුගය නිම කිරීමට ඔහු සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට කලාපය දිවයිනේ හොඳම අධ්‍යාපන කලාපය බවට පත්විය.

    දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වාණිජ විෂය භාර අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළ කාල වකවානුව තුළ ද සිසුන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට නවමු ඉගෙනුම් ඉගැන්වීම් උපක්‍රම යොදාගනිමින් කැපී පෙනෙන කාර්‍යභාරයක් ඔහු ඉටු කළ බව දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා දන්නා කරුණකි.

    2018 වසරේදී තිලක් වත්තුහේවා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙහි විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලැබීය. එම විදුහලේ පරිවර්තනීය වෙනස්කම් ගණනාවක් ඇතිකිරීමට ද ඒ මහතා සමත් විය. එතුමන් නාලන්දා විද්‍යාලයෙහි වැඩ භාරගන්නා විට 73% ක් වූ සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය වසර දෙකක් තුළ 90 % ඉක්මවන මට්ටමට පත්ව තිබිණි. නාලන්දා විද්‍යාලය අවට පදිංචිව සිටි අධ්‍යාපන තත්වයෙන් සහ ආර්ථික තත්වයෙන් අඩු මට්ටමක සිටි දරුවන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ද ඒ මහතා සමත් විය.
    නීති රීති සහ දඬුවම් තුළින් සිසුන් හැඩගස්වනු වෙනුවට ආකල්පමය වශයෙන් ඔවුන් තුළ දියුණුවක් ඇතිකිරීමට සමත්කම් දක්වන විදුහල්පතිවරයෙක් ලෙස තිලක් වත්තුහේවා මහතා නිරතුරු පැසසුමට බඳුන් විය. ඒ මහතා සුපිරිසිඳු රාජ්‍ය සේවකයෙක් ලෙස නමක් දිනා සිටීමද මෙහිලා සඳහන් කළ යුතුය.

    වර්තමානය වන විට මුළු රටම වෙලාගෙන ඇති Covid-19 වසංගත තත්වය නිසා එතුමන්ගෙන් විදුහලට ලැබිය හැකිව තිබූ සුවිසල් මෙහෙවර ඉටුකරගැනීමට බාධා පැමිනුණත් මාර්ගගත ඉගැන්වීම් ක්‍රම (Online Education) භාවිතයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් එතුමන් ක්‍රියා කළේය.

    උක්ත කරුණු කාරණා හේතුවෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස තවදුරටත් ඒ මහතා කටයුතු කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. මේ පිළිබඳව වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය යොමුකරවීමට එක්වන මෙන් සමස්ත රිච්මන්ඩ් ප්‍රජාවට ඇරයුම්කර සිටිමු !

Leave a Reply to Thilina Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!