spot_img
spot_imgspot_img

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි

පුවත්

විදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් කළ දැනුම්දීමකට අනු අප අද (17) එම ඒකකයට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලදී.

පොලිසිය කියා සිටියේ තමන් විසින් රෝහලේ වෛද්‍යවරුන්ට රාජකාරී පැවරීම සම්බන්ධයෙන් නිකුත්කරන ලද ලේඛනයක් වෛද්‍යවරුන්ගේ තොරතුරු ද සහිතව තුන්වැනි පාර්ශවයක් වූ rata.lk වෙබ් අඩවියේ නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

අභ්‍යන්තර රාජකාරී පැවරීම් රෝහල් අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරවවෙනත් නිලධාරිනියකට යැවූ ලිපියක් පිළිබඳ එම ලිපියේ නම් සඳහන් වෛද්‍යවරුන් විසින් තමන්ට පැමිණිලි කර ඇති බවත් එම තොරතුරු rata.lk වෙත ලැබීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙසත් රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලා තිබිණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසිය අපෙන් ඉල්ලීමක් කළ බැවින් එම ප්‍රකාශය අද (17) සවස ලබාදීමට කටයුතු කරන ලදී.

එම ප්‍රකාශයේ සඳහන් කරුණු rata.lk පාඨක ඔබගේ දැනගැනීම පිණිස සඳහන් කිරීම අපගේ යුතුකමක් බැවින් එය මෙසේ සටහන් කරන්නෙමු.

ජනතාවට වගකිය සහ වගවන මාධ්‍යයක් ලෙස rata.lk වෙබ් අඩවිය වෙත ඕනෑම තොරතුරක් ලබාගැනීමට අයිතියක් ඇති අතර එම තොරතුරු ලබාගත් ආකාරය හෝ ලැබුණු ආකාරය අප කිසිම අවස්ථාවක හෙළිදරව් කිරීමට බැඳී නැත.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලට අදාල වූ ලිිපියේ සඳහන් වූ තොරතුරු අප විසින් වෙබ් අඩවියේ පළ කරන ලද්දේ එය සත්‍ය හා නිවැරදි බව තහවරු කරගැනීමෙන් අනතුරුව බැවින් එය සත්‍ය පුවතක් බව අපි අවධාරණය කරන්නෙමු.

වෘත්තීය මාධ්‍යවේදීන් වශයෙනුත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසත් අපට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව අනු හිමිවන්නා වූ භාෂණයේ නිදහස අනුව හිමිවන මූලික අයිතිවාසිකමක් ලෙස එම තොරුතුරු දැනගැනීමේ හෝ එම තොරතුරු සන්තක කැරගැනීම අයිතියක් ඇත. එම ව්‍යවස්ථාව අනුවම ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේම අයිතියට ගරු කිරීමක් ලෙස අප එය ප්‍රකාශයට පත්කර තිබේ. ජනතාවගේ මූලික අයිතිවාසිකමක් අප විසින් තහවරු කර ඇත.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා අපට මෙන්ම අප පාඨකයන්ටත් ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට තැත්කරයි.

එමෙන්ම රජයේ වැටුප් ලබන රෝහල් අධ්‍යක්ෂවරයා ඔහු සේවය කරන රාජ්‍ය ආයතනයේ තොරතුරු දැනගැනීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව ඇති හිමිකම ද අභියෝගයට ලක්කරයි.

රෝහලක් යනු පොදු අධිකාරියකි. මෙම පොදු අධිකාරියක රාජකාරී පැවරීම සම්බන්ධ ලේඛනයක් අධ්‍යක්ෂවරයාගේ හෝ ඊට අදාල වෛද්‍යවරුන්ගේ හෝ පුද්ගලික ලේඛන වන්නේ නැත. එමෙන් ම ඒවා රහස්‍ය ලේඛන ද වන්නේ නැත. තොරතුරු දැනගැනීමේ පනත අනුව එය පොදු අධිකාරියේ වෙබ් අඩවියේ පවා පළ කළ යුතු ලේඛන වෙයි. නමුත් ඔහු එසේ කර නැත. තොරතුරු දැනගැනීමේ පනත අනුව එම ලේඛනය නිදහස් කිරීමට හෝ හෙළිදරව්කිරීමට අවසර ඇති ලේඛනයකි. අප විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති එම ලේඛනය තොරතුරු පනත යටතේ ඉල්ලා සිටියේ නම් රෝහලේ තොරතුරු නිලධාරීවරයා විසින් නොපමාව ලබාදිය යුතු ලේඛනයක් වෙයි.

තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තියේ මෙසේ දක්වා ඇත. “යම් පොදු අධිකරියක කිසිදු නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු වීම හේතුවෙන්, යම් නීතිමය හෝ වෙනත් බැඳීමකට යටත් වන යම් තැනැත්තකු, එම නීතිමය හෝ බැඳීම කුමක් වුවත් මේ පනත යටතේ නිදහස් කිරීමට හෝ හෙළිදරව් කිරීමට අවසර දෙනු ලබන යම් තොරතුරු, නිදහස් කිරීම හෝ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විනයානුකූළ හෝ අන්‍යාකාර වූ යම් දඬුවමකට යටත් නොවිය යුතුය.”

මෙම වගන්තිය අනුව රෝහල් අධ්‍යක්ෂවරයාට ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන් ලේඛනය මට ලැබුණු ආකාරය පිළිබඳ ‍පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලීමට හැකියාවක් නොමැති අතරම ඔහුගේම කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගෙන් හෝ ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ද අධ්‍යක්ෂවරයාට කිසිදු හිමිකමක් නැත.

මේ අනුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා අපගේ rata.lk වෙබ් අඩවියට තොරතුරු ලැබී ඇත්තේ කවර ආකාරයෙන් ද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලීම ඔහුට අදාල නොවන අනවශ්‍ය ඉල්ලීමකි.

මාධ්‍යවේදීන් ලෙස ඔහුගේ කාර්යාලයේ ඇති ලේඛන ලබාගැනීමට හා ප්‍රකාශ කිරීමට අපට අයිතියක් ඇති අතර එය මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිිත කරනු ලැබූවකි.

එමෙන්ම අපට තොරතුරු ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද කිසිදු හිමිකමක් නැති අධ්‍යක්ෂවරයා මේ ඒ බව දැන දැනම පොලිසියට පැමිණිලි කරමින් සිදුකරන්නේ මාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ ගැනීමයි. එබැවින් අපි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නෙමු.

1 COMMENT

  1. Thorathuru dana ganeeme aithiya obalata athnam krapitiya hopital ake a.directorta saha policiyatath obala a wisthara danagath auru danaganeemata owuntath aithiyak atha.
    .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!