spot_img
spot_imgspot_img

ලෝකයේ ඉහළම සම්මානයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයකුට හිමිවෙයි

පුවත්

විදෙස්

“පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැළකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන Blue Planet සම්මානය ශ්‍රී ලංකාවේ භෞතික විදයාඥ හා  ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහාන් මුණසිංහට හිමිව තිබේ.

මෙම සම්මානය 2021 වර්ෂයේ දී පිරිනමනු ලබන්නේ 30 වැනි වරට වන අතර ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම එහි අනුග්‍රාහකත්වය දරයි.

මෙම සම්මානයේ තීරක මණ්ඩලය විසින් 2021 සම්මානය පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුණසිංහට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී.රාමනාදන් ද තෝරාගෙන ඇත. මේ දෙදෙනාටම මෙවර සම්මානය පිරිනැමේ.

මහාචාර්ය මුණසිංහ විසින් හඳුන්වා දී ඇති අද්විතීය සංකල්පයක් ලෙස සැළකෙන ඒකාබද්ධ සහ විෂයාන්තර “තිරසරාර්ථික රාමුව (Sustainomics framework) පරිසරය, ආර්ථිකය හා සමාජය යන ත්‍රිවිධ අංශ මත පදනම් වූ තිරසාර සංවර්ධන ත්‍රිකෝණය (sustainable development triangle), ‘සමතුලිත හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG – balanced inclusive green growth)’ සහ ‘සහස්‍ර පරිභෝජන ඉලක්ක (MCGs)  වැනි නව්‍ය සංකල්ප අගයමින් මෙම සම්මානය පිරිනැමේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු 2007 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගයේ ද සම හිමිකරුවකු වූයේය. නොබෙල් සම්මානයක හිමිකරුවකු වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මහාචාර්ය මොහාන් මුණසිංහයි.

ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.  ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනයෙන් (MIT) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ SM සහ වෘත්තීය EE උපාධි ද, කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන සිටී. මීට අමතරව මහාචාර්ය මුනසිංහ හට සම්මාන ආචාර්ය උපාධි කිහිපයක් ද ප්‍රදානය කෙරී ඇත. ශාස්ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු පිළිගත් විද්‍යා සඟරාවල තාක්‍ෂණික නිබන්ධ හාරසියයකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. එමෙන්ම, මහාචාර්ය මුණසිංහ ප්‍රමුඛ පෙළේ ගෝලීය විද්‍යා ඇකඩමි කිහිපයකම සාමාජිකයෙකි.

මෙම සම්මානය පිළිගනිමින්, මහාචාර්ය මුණසිංහ මෙසේ ප්‍රකාශ කළේය.

“ප්‍රමුඛතම ගෝලීය පාරිසරික තිරසර සම්මානය වන 2021 බ්ලූ ප්ලැනට් සම්මානය ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මගේ බුද්ධිමය සංවර්ධනයට සහ චිත්තවේගීය බුද්ධියට නොමසුරුව දායක වූ මාගේ ගුරුවරුන්, උපදේශකවරුන්, වෘත්තීය සගයන්, පවුලේ අය සහ මිතුරන් ඇතුළු බොහෝ දෙනෙකුට මම ණයගැතියි. දශක 5 කට ආසන්න කාලයක් පුරා මා විසින් වර්ධනය කරන ලද ප්‍රධාන සංකල්ප සහ ඒවායේ ප්‍රායෝගික භාවිතයන් ලොව පුරා පිළිගෙන ඇති බව සම්මාන කමිටුව විසින් අගය කර තිබීම දිරිගන්වන සුළුයි. මගේ පර්යේෂණ ආරම්භයේදී ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි මූලික අංශවල සිට බලශක්තිය, ජලය, ප්‍රවාහන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා පාරිසරික සම්පත් වැනි යෙදුම් අංශ දක්වා පැතිර ගොස් අවසානයේ දරිද්‍රතාව, ආපදා, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය වැනි ඉතා පුළුල් සහ විෂයාන්තර ක්ෂේත්‍ර දක්වා විකාශනය වී ඇත. තිරසරාර්ථික රාමුව යන නව්‍ය සංකල්පය සමෝධානිත, විෂයාන්තර ක්‍රමවේදයක් ලෙස වර්ධනය කිරීමට මෙම පුළුල් අත්දැකීම මා හට උපකාරී වුණා. මා මෙතෙක් සිදු කරමින් සිටි ක්‍රියාදාමයන් සහ ගෞරවනීය බ්ලූ ප්ලැනට් ත්‍යාගය මගින් සපයන ලද ගෝලීය වේදිකාව ප්‍රයෝජනයට ගනිමින්, අපගේ පෘථිවිය සැමට සුරක්‍ෂිත කිරීමට මගේ නිහතමානී උත්සාහය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.”

මෙම සම්මාන උළෙල 2021 ඔක්තෝබර් 6 වන දින ටෝකියෝ නුවර කයිකන් හිදී පැවැත්වීමට නියමිතය.  මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් බ්ලූ ප්ලැනට් ත්‍යාගය වෙනුවෙන් පවත්වනු ලබන සමරු දේශන 2021 ඔක්තෝබර් 7 සහ 9 යන දිනවල පිළිවෙලින් එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ (ෂිබුයා වෝඩ්, ටෝකියෝ) සහ කියෝතෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!