spot_img
spot_imgspot_img

වෛද්‍යවරුන්ගේ පැමිණිලි තොරතුරු අයිතියට බාධාවක් බව තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට කියයි

පුවත්

විදෙස්

rata.lk වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සහ තවත් වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල පොලිසියට කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම බරපතල තත්ත්වයක් බවත්, එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යාමට බාධාවක් මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කිරීමක් බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම සංගමය විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යවන ලද ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද යොමුකර ඇත. එම පැමිණිලි 12 අනුව මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න බැවින් විමර්ශනයක් සිදුකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

තව ද, වෛද්‍යවරුන්ගේ සහ රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් එම ලිපිය ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ද යවා තිබේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත යැවූ ලිිපිය සම්පූර්ණයෙන් මෙසේ ය.

“කොරෝනා වැඩ මගහැර ලකුණු දමාගන්නා දොස්තරලා”(https://si.rata.lk/13981/) මැයෙන් 2021 මැයි මස 25 වැනි දා Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ්.lk අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයාට එරෙහිව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරුන් පිරිසක් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක් කර ඇති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙත අද (16) වාර්තා විය.

මෙම පැමිණිලිවලට අදාලව එම වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා හෙට (17) දිනයේ පොලිසියට කැඳවා ඇතැයි ද වාර්තා විය.

ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ රෝහලේ අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපියක් මෙම වෙබ් අඩවියට ලැබුණු ආකාරය ගැන විමර්ශනය කරන ලෙසයි. සෙසු වෛද්‍යවරුන් කළ පැමිණිලිවල සඳහන් වන්නේ වෙබ් අඩවියේ පළ වූ ලිපිය කොරෝනා මර්දන රාජකාරිවලට බාධාවක් බැවින් ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසයි.

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම යනු බරපතල තත්ත්වයකි. එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතු වනු ඇතුවා පමණක් නොව එවැනි විමර්ශනයක් සිදු කිරීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද බාධාවකි.

එමෙන්ම වැරදි පෙන්වාදීමට, අඩුපාඩු විවේචනය කිරීමට ඕනෑ ම පුරවැසියකුට අයිතිය තිබේ. එම අයිතිය හීන කිරීමට රෝහල් අධ්‍යක්ෂට හෝ වෛද්‍යවරුන්ට නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට ද එම අයිතිය එලෙසින්ම තිබේ.  රෝහල් අධ්‍යක්ෂ කළ යුතුව තිබුණේ ජනමාධ්‍යවේදියා පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර මාධ්‍යවේදියා පෙන්වා දෙන අඩුපාඩුව නිවැරදි කර ගැනීමය.

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස එකිනෙකට බැඳි පවතින බව ද පෙන්වා දෙනු කැමැත්තෙමු.

එබැවින් මෙම පැමිණිලි විමර්ශනයේ දී ජනමාධ්‍යවේදියාගේ රාජකාරියට කිසිම බාධාවක් නොකරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ නොකරන ලෙසත්, ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!