spot_img
spot_imgspot_img

ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස සුරකින්න නීතිඥ සංගමය පෙරට එයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තම අභිමත මතයක දැරීමට, ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස අත්විඳීමට ඇති නිදහස පොලිසිය විසින් හෝ වෙනයම් ආකාරයකින් හෝ උල්ලංඝනය කරන්නේ නම් එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරන්න්නම් සහ නීතිය සමව ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට මැදිහත්වීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘අසමගිය, වෛරය හා කෝවිඩ්-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම’ මැයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විධායක කමිටුව විසින් විශේෂ අවධානය යොමු කර තිබේ.

නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ අංශය වැරදිකරුවන් සොයා අන්තර්ජාලය නිරීක්ෂණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් එම නිවේදනයෙහි අඩංගු වේ. එසේම, ව්‍යාජ පුවත් ප්‍රචාරණයෙන් හා ඒ සඳහා උදව් උපකාර කිරීමෙන් වළකින ලෙස චක්‍රලේඛය මහජනයාට දැනුම් දෙයි.”  

එම සංගමයේ ලේකම්වරයා දක්වන්නේ වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විරෝධයක් නොමැති බවයි. එහෙත්, අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් එම නීති භාවිතා නොකරන බව සහතික කිරීම වැදගත් බවත්, ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වන බවත් එහි දක්වා තිබේ.

එම චක්‍රලේඛයෙහි සඳහන් වන නීතිමය විධිවිධාන පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස අවධානය යොමුකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මූලික අයිතිවාසිකම් වන කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාකිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් ඒවා අවභාවිතා කළ හැකිය.

කෝවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමාවන් පවතින අතරතුර මහජනතාවගේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍යය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන නඩු තීන්දු කෙරහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමුකරයි.

වඩාත්ම මෑතකාලීන නඩුවක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එදිරිව යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හා ජේ.කේ.ඩබ්ලිව්. ජයසේකර SCFR 556/2008 සහ 557/2008 නඩුවේ තීන්දුවෙහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු අලුවිහාරේ මහතා තවත් විනිසුරුවරුන් දෙපළකගේ එකඟතාවය සහිතව 2021 පෙබරවාරි 17 දින මෙසේ නිගමනය කළේය:

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු තුළ වසර ගණනාවක් තිස්සේ පරිනාමය වූ නීති සංග්‍රහයක් අඩංගු වේ. පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේ සහ රාජ්‍ය නිලධාරීන් හා ආයතන විවේචනය කිරීමේ අයිතිය ප්‍රජාතාන්ත්‍රික සමාජයක මහත් සේ අගයනු ලබන, සිවිල් හා දේශපාලනික නිදහස භාවිතා කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගෙන තිබේ.’

නඩු තීන්දු කිහිපයක සඳහන් වන පහත දැක්වෙන ඡේද අනුමත කරමින් අධිකරණය විසින් ඒවා උපුටා දක්වන ලදී:

‘ආණ්ඩුවලට හා දේශපාලන පක්ෂවලට, ප්‍රතිපත්තිවලට හා වැඩසටහන්වලට සහායදීම හෝ විවේචනය කිරීම ප්‍රජාතාන්ත්‍රික ජීවිතයෙහි මූලිකාංග වේ; … එම විරෝධාකල්ප ඉවසීම පමණක් නොව, ඒවා දිරිගැන්වීම ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍යය.’

‘රජය, දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසෙහි ඓන්ද්‍රීය කාරණයකි.’

දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයකු/ පාර්ශ්වකරුවෙකු ලෙස බැරෑරුම් අදහස් බෙදාහදාගැනීමේ හෝ නිදහසේ අදහසේ ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්ත්වයකි. පැමිණිල්ලක් සම්බන්ධ පූර්ණ විමර්ශනයකට පෙර ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ චෝදනාවක් මත පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය සිදුකළ යුතුය.

එසේම, එම අත්අඩංගුවට ගැනීම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල විය යුතුය. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදුකළ යුත්තේ මූලික නිදහස ආරක්ෂා වන පරිදිය. එසේම, එමගින් නිදහස් ප්‍රකාශනයේ අයිතිය මර්දනය කිරීමක් සිදු නොවිය යුතුය. කරන ලදැයි සැලකෙන නීතිමය වරද සම්බන්ධයෙන් පරෙස්සම් සහගත ලෙස සලකා බලා වෘත්තිමය අන්දමින් තක්සේරුවක් සිදුකර, අත්අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක් තිබේද යන්න නිගමනය කිරීම වඩා යහපත් බව අපේ දැක්මයි. අදාළ සංදර්භයන් තුළදී, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම ද යෝග්‍යය.

නීතිය ක්‍රියාත්මක කිරීම, සාධාරණ හා සමාන අන්දමින් සිදුවිය යුතු බව ද, තෝරාගෙන ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිය යුතු බව ද කීමට අවශ්‍ය නැත. එය ස්ථිර ලෙසම අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් බව අවධාරණය කරන්නෙමු.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වන මෙම කාරණා පිළිබඳ 2021/06/10 දින දරණ ලිපිය මගින් පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යොමු කරන ලදී.

කිසියම් අයිතිවාසිකමක් හෝ මූලික මානව හිමිකමක් උල්ලංඝනය වේද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය අවස්ථාවලදී වැඩිදුර මැදිහත්වීම් ද සිදුකරනු ඇත.

ස්තූතියි,

රජීව් අමරසූරිය

ලේකම්

ශ්‍රී ලංකා නීතීඥ සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!