spot_img
spot_imgspot_img

එකම රටක නීති දෙකක් – හාමුදුරුවන්ගේ මෑණියන්ගේ අවමගුලට නීති නෑ

පුවත්

විදෙස්

දැඩි සංචරණ සීමා සහ අවමංගල්‍ය උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස් නිකුත්කර තිබිය දී එම සියලු නියෝග උල්ලංඝනය කරමින් ඊයේ දිනයේ පැවැත්වූ අවමංගල්‍ය උත්සවයක් සඳහා මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත.

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමංගල්‍යය මෙලෙස නිරෝධානය නීති නොතකමින් හා සංචරණ නීති නොතකමින් පැවැත්විණි.

පසුගිය 07 වැනි දා අභාවප්‍රාප්ත වූ ලීලාවතී සමරසිංහ (85) නැමති එම මවගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ පරිශ්‍රයේ තැන්පත්කර තිබිණි. එම දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටි අතර මහා සංඝරත්නය ද සිය ගණනක් නිරන්තරව ම එහි රැඳී සිටියහ.

ඉන් අනතුරුව ඊයේ (09) උදෑසන 8.30ට පමණ එම දේහය රැගත් රිය පෙරහැරක් මල් ශාලාවේ සිට අභාවප්‍රාප්ත මවගේ ගම් ප්‍රදේශය වූ රත්නපුරය ඉත්තෑකන්ද වෙත යාමට පිටත්වූ අතර අධිවේගීමාර්ගයේ කොට්ටාව අන්තර්හුවමාරුවෙන් ඇතුළු වී බරවකුඹුර, ඇඹිලිපිටිය, පනාමුර හරහා ඉත්තෑකන්ද දක්වා ගමන් ගන්නා ලදී.

මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටි අතර දේහය සම්බන්ධ අවසන් කටයුතු ඊයේ (09) සවස පවුලේ සුසානභූමියේ දී සිදුකෙරිණි.

කිසිදු ආකාරයක ජනතාව ඒකරාශීවන වැඩසටහන් හෝ උත්සව පැවැත්වීමට තහනම් කර තිබිය දී කොරෝනා සම්බන්ධ රැස්වීම්වලට පවා සහභාගීවන සංඛ්‍යාව පිළිබඳ සීමා පනවා තිබිය දී මෙම අවමංගල්‍යයට සහභාගී වූ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවකි.

මහ මඟ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අල්ලා නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනයන අතර, කඩුවෙළ පැවැති මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් ද එම හෝටලයේ ම නිරෝධායනය කෙරිණි. කැස්බෑවේ උපන්දින සාදයක් පැවැත්වූ 10 දෙනකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ අතර ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් ද නිරෝධායනයට යොමු කළ රටක මේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිස සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වන්නේ කවර දිනක ද යන්න ජනතාව ප්‍රශ්න කරති.

(ඡායාරූප අනුග්‍රහය – News19)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!