spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ ඉහළ ගියත් විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනිති

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දින දී ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 79ක් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 7528ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

දිනයේ වැඩිපුර අළෙවි වූ කොටස් අතර කොමර්ෂල් බැංකු කොටස් රුපියල් මිලියන 260ක්, LOLC සමාගම රුපියල් මිලියන 246ක්, වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 203ක් ලෙස සටහන් වූ අතර දිනයේ මුළු විදේශ ආයෝජකයන්ගේ විකිණීම් මිලියන 266ක් වූ අතර මුළු මිල දී ගැනීම් මිලියන 40කි. ඒ අනුව අද දිනයේ ද ශුද්ධ ලෙස විදේශ ආයෝජනයන් රුපියල් මිලියන 226ක් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

දිනයේ විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර හේමාස් හෝල්ඩින්ස්, ටෝකියෝ සිමෙන්ට් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම් මූලික වූ අතර විදේශ ආයෝජකයන්ගේ විකිණීම් වූයේ කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 120ක්, ලුබ්රිකන් සමාගම රුපියල් මිලියන 31ක්, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 15ක් වශයෙනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ 2021 ජනවාරි 27 වැනි දින සමස්ත ඉතිහාසයේ වැඩිම කොටස් මිල දර්ශකය පෙන්වමින් සමස්ත කොටස් මිල දර්ශකය 8,812ක් වූ අතර ඉන් අනතුරුව කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රමක්‍රමයෙන් විශාල කඩා වැටීමකට ලක්වෙමින් 2021 මාර්තු 18 වැනි දින වනවිට සමස්ත කොටස් ඒකක 6,930ක් බවට පත්විය. ඉන් අනතුරුව මේ දක්වා කොටස් වෙළෙඳ පොළ ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගමන්ගත් අතර මෙම ඉහළට ගමන් කිරීමේ ස්ථාවරත්වය සමාගම්වල ඉපයීම්, ස්ථාවර තැන්පතු කෙරෙහි ගෙවන අඩු පොළිය යන හේතුව මත යම් කාලයක් පැවතිය හැකි බව නිරීක්ෂණය වේ.

එසේ වුවත් දැනට ඉහළ ගොස් ඇති සමාගම්වල කොටස් ආයෝජකයන් විසින් විකිණීමට පෙළඹුනහොත් සියලු කොටස් මිල දර්ශකය යම් ප්‍රමාණයකින් පහළට ඒමේ හැකියාවක් පවතී. ඉදිරියේ දී ලාභ ඉපයීම සඳහා වැඩි අවධානය යොමුකළ යුතු කොටස් ලෙස හේලීස් සමාගම, ඩිප් ප්‍රඩක්ට් සමාගම, ටෝකියෝ සිමෙන්ට් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව විශ්වාසයක් තැබිය හැකි බව පෙනී යයි.

(විශ්ලේෂණය – රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!