අපේ පැරැන්නන් සතුන්ගෙන් අනාවැකි ඇසූ හැටි

0
526

අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික පිර්යාස පිළිබඳ අනාවැකි පළි කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන් ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව බොහෝ විට ප්‍රයෝජනවත් වූයේ ගොවිතැනේ දී ය. ඒ හැරැුණු විට වෙනත් දෛනික කටයුතුවලදීත් ප්‍රයෝජනවත් නොවුණාම නොවේ. අවට පරිසරය නිරීක්ෂණය කරමින් අනාවැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොව රට රටවල අනාදිමත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව පවතින දැනුම් පද්ධතිය සුවිශේෂී එකකි. අපේ ගොවි ජනතාව එඑදා පටන් ම ගොවිතැන් කිරීමට හුරු පුරුදු වූයේ පරිසරය පිළිබඳ විමසුම් ඇසකිනි. එහෙත් පසු කලෙක දී එය අවිද්‍යාත්මක මතයක් ලෙස සලකමින් බටහිර විද්‍යාවෙන් බැහර කරන්නට විය.

කෙසේ වෙතත් 1980 දශකයේ පටන් මෙම පාරම්පරික දැනුම “Phenology” නමින් නව විද්‍යාවක් ලෙස දියුණු කර ඇත. “Phenology” යනු “Phenomenology” (සංසිද්ධි විද්‍යාව) යන වචනයෙන් කෙටි කොට ගත්තකි. විශේෂයෙන් ම මේ පාරම්පරික ඥානය ඉවහල් කරගත් දැනුම වැඩි දියුණු කිරීමටත් නව නිරීක්ෂණ මඟින් එම දැනුමට අලු‍තින් යමක් එක්කර ගැනීමටත් 1980 දශකයේ මැද භාගයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට‍ටමෙන් ද ප්‍රයත්නයක් දරනා බව කිව යුතුය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවැන්නක් පිළිබඳ ලකුණු පහළ වී නැත.

කෙසේ වෙතත් මෙම විද්‍යාවට අදාළව දීර්ඝ කාලීන පර්යේෂණ සහ නිරීක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ගත හැකි මාර්ගයක් විවර වීම ද වඩා වැදගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලීමේ දී ඒවායෙන් සමහරකට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳුනාගත හැක්කේ අපේ දැනුමෙන් ඔබ්බට ගිය සංසිද්ධීන් ලෙසය.

සැප්තැම්බර් මාසයේ මැද ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැලපෙන්දා (Grey Wagtail) අවට පරිසරයේ සැරිසරනු දකින විට ගොවීන් අනුමානය කරන්නේ සති දෙක තුනක් ඇතුළත වැසි ලැබෙන බවය. ඒ අනුමානය නිවැරදි බව හඟවමින්ම පක්ෂියාගේ සැරි සැරීමෙන් සති දෙක තුනක කාලය තුළ සංවහන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍යයකි.

අතීතයේ ගොවීයන් පිළිගත්තේ රන් ‍ඔලෙයියන් (Pacific Golden Plover) ඉපනැල්ලේ දැකීමෙන් හැඟවෙන්නේ පුරන් කෙටීමට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙයියා ස්වරූපයෙන් සහ ශරීර වර්ණයෙන් කැස්වටුවාට සමානය. කැස්වටුවාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙයියාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූපයෙන් තරමක් සමාන වුවත් එම පක්ෂීන් දෙවාර්ගය වෙන්කොට හඳුනාගත හැකි යම් යම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේශයේ මෙම පක්ෂි දෙවර්ගයම දැකගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන්‍ෙ ව්නකොට හඳුනා ගැනීමේ දී අසමත්වීම හේතුවෙන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්‍ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේතයක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි.  

සංක්‍රමණික පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වට කිහිපයකට වන අතර හැමවිටම පුරන් කෙටීම සම්බන්ධ අනාවැකි සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමිණෙන පක්ෂීන්ය. සාමාන්‍යයෙන් එම පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද  වන විට වුවත් ඇතැම් වර්ෂවල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණෙන අවස්ථා ද දැකගත හැකිය. කෙසේ වෙතත් එම සංක්‍රමණය වීමේ කාලයත් සමඟ වර්ෂාව බොහෝවිට සමපාත වීමක් දැකගත හැකිය.

වැහිලිහිණියා මෙහි දී වැඩි අවධානය් හිමි කරගන්නා පක්ෂියෙකි. වැහිලිහිණි විශේෂ කිහිපයක් වෙතත් අපේ ජනප්‍රවාදයේ වැස්ස රැගෙන එන බවට සඳහන් වන්නේ “Barn Swallow” නම් වැහිලිහිණියා සම්බන්ධයෙනි. මේ වැහිලිහිණි සංක්‍රමණය වන්නේ සංවහන සුළං ධාරා අවසන් වන, නැතහොත් මෝසම් වැසි ඇරඹෙන කාලය වනවිටය. එබැවින් වැහිලිහිණි වැසි රැගෙන එන බවට ජනප්‍රවාදයේ එන කියමන වියළි කලාපය සම්බන්ධයෙන් බොහෝ දුරට සනාථ වේ. එම පක්ෂි විශේෂය බොහේා දුරට සංක්‍රමණය වන්නේ නැගෙනහිර ප්‍රදේශයට පැයින් තෙත් කලාපයේ දී දකිනවාට වඩා කලියෙන් වියළි කලාපයේ දී බොහෝ විට දැක ගත හැකිය. ග්‍රාමිය මෙන් ම නගරාශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පවා පෙනී යන්නේ වැහිලිලහිණි ඉහළ අහසේ පියෑඹීම වැස්ස ළඟ එන බවට පැහැදිලි සංකේතයක් බවයි.

සංක්‍රමණය වීමෙන් මාස කිහිපයකට පසු මේ දිවයිනෙන් නික්මෙන වැහිලිහිණියා නික්මීමට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබා ගැනීම ද විශේෂත්වයකි. පිහාටු හැලීම කලින් සිදුවුවහොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුවහොත් නික්මීම කලින් සිදුවේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදුවන එනම් නක්මීම කලින් සිදුවන වර්ෂයන්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බන්ධතාව රන් ඔලෙයියාගෙන් ද පුංචි වැලි ඔලෙයියාගෙන් ද දැකිය හැකිය. පුංචි වැලි ඔලෙයියාගේ පැමිණීමත් වර්ෂාවත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝසමටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබාග්නනේ ශ්‍රී ලංකාවේ දී ය. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කිල්න ලබාගතහොත් ඉදිරියට එන්නේ පෑවිල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍රමණය නොවී ග්මාහන සෘතු වර්ණයේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ග්නනේ මාරතු මාසය පමණ වනවිට නම් මාර්තු අග වනවිට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වනවිට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජනප්‍රවාදයේ වැලි ඔලෙයියා පිළිබඳ විශේෂයේන සඳහන් නොවනමුත් රන් ඔලෙයියා, වැහිලිහිනියා, අළු හැලපෙන්දා ද පැමිණෙන්නේ වැස්සත් සමඟය.

ශ්‍රී ලකාවට සංක්‍රමණය වන නිල් කුරුමිණි කුරුල්ලා ට ද වර්සාව හා පැහැදිලි සම්බන්ධයක් තිබේ.

ඇතැම් ගොවීන් තුතයන්ව ‘මන්දාරම් ලිහිණි’ යනුවෙන් හඳුන්වා දෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. තුරිත විශේෂ පහක් ශ්‍රී ලංකාවේ දී හමුවන අතර එයින් විශේෂ තුනක් සම්බන්ධයෙන් වියළි කලාපයේ ගොවීන් පවසන පරිදි, මන්දාරම් අහසේ දැකිය හැකි බවට වන කියමන සත්‍ය වන බව පැහැදිලි කරගත හැක. කැසලි තුරිතයා, කළු තුරිතයා, මහ තුරිතයා සැරිසරන්නේ ඉහල අහසේය. වර්ෂාවක් කිටටු වනවිට ඇතිවන අවපීඩන කලාපයත් සමසඟ මෙම පක්ෂීන් පහළට පැමිණේ. ඔවුන් පහළින් සැරිසරනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවිතැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ සංක්‍රමණය වන දුඹුරු මාරාවා නැතහොත් දුඹුරරු මැසි මාරාවා (Brown flycatcher) පිළිබඳ අපේ ජන වහරේ සඳහන් නොවේ. එම පක්ෂියා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිටින කාලයේ දී (ඔක්තෝබර් සිට මාර්තු අග දක්වා) උදෑසන සහ සවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙන් වේලාවක ශබ්ද කළහොත් අඩ පැයක්, පැයක් ඇතුළත ආසන්න කලාපයට වැස්සක් ඇදහැලෙන බව නම් නොඅනුමානය.

ජනප්‍රවාදයට අනුව මයිනා හඳුන්වන්නේ කාලගුණ විපර්යාස හා බැඳුණු තවත් පක්ෂියකු ලෙසිනි. මයිනා සාමාන්‍යයෙන් ඇවිදින විට බොහොම කන්කලුව නාද කරන අතර හිටි හැටියේ කලබලයෙන් එම කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නඟන්නේ නම් දෙපැයක් ඇතුළත වර්ෂාවක් ඇදහැලේ.

පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළිබඳ අනාවැකි පළ කරන තවත් සත්තු සිටිති. මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කාවයියා සහ කනයා වැස්සක් ඇතිවීමට මත්තෙන් වෙනස් සහ තරමක් කලබලකාරී හැසිරීමක් පෙන්වන බව හඳුනාගත හැකිය. එසේ ම වැසි සමය එළැඹෙන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට බත්කූරු සංක්‍රමණයක් ද සිදුවන්නේ වැසි සමය පිළබිඳ ඉඟි ලබාදෙමිනි. මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ දිගින් දිගටම අද්‍යයනය කිරීම තුළ නව දැනුම ළඟා කරගත හැක්කේ ජන ජීවිතයට ද ප්‍රයෝජනවත් අයුරිනි.

කළු කූඹි නිවසතුළට බිත්තර රැගෙන එන්නේ නම් දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පාරවල සාමාජකයන් සමඟම මැකී යෑම කණගාටුවට කරුණක් නොවේ ද ? අතීතයේ ගොවීන් ගොවිතැන් කළේ රට පත බුලතින් සශ්‍රීක කළේ සොබාදහමේ ගති ලකුණු අනුව කල්යලා බලා පාරම්පරික දැනුම උපයෝගී කරගනිමිනි.

අතීත හෙළ ගොවියා පුරන්කොටන කාලය හඳුනාගත්තේ ද සතුන්ගේ හැසිරීමෙනි. මෙය තවදුරටත් පර්යේෂණ හා නිරීක්ෂණ අධ්‍යයනයන් මඟින් වැඩිදියුණ කළ යුතු විද්‍යාවකි.

(පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විසින් සංක්‍රමණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අළලා සිදුකරන ලද පර්යේෂණයක් පදනම් කරගනිමින් දැක්වූ අදහස් අසුරින් මෙම ලිපිය සකසන ලදි)

සටහන – කාංචනා සිරිවර්ධන

වැහිලිහිණියා
දුඹුරු මැසිමාරාවා
අළු හැලපෙන්දා

මයිනා
රන් ඔලෙයියා
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here