spot_img
spot_imgspot_img

අලුත්වල තරංගා, කොරෝනා බෙහෙතක් බව කියමින් රටම මුළා කරයි. ජාවාරමක් බව සූත්‍ර කමිටුව කියයි

පුවත්

විදෙස්

කොරෝනා බෙහෙතකට අනුමැතියක් දී නෑ

ජනතාව මුළා කරමින් විකුණන්නේ වෙනත් බෙහෙතක්

තරංගා ආයුර්වේද විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන නෑ. ලියාපදිංචිය පාරම්පරික වෛද්‍යවරියක්

මේ බෙහෙත බිව් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා හැදුණා

බෙහෙත් බිව් සිය ගණනක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල

නීති විරෝධී වැඩේ නවත්වන්න යැයි ආයුර්වේදයෙන් ලිඛිතව දන්වලා

ජාවාරම නවත්වන්නේ නැත්නම් නීතිමය පියවර

ගාල්ලේ අලුත්වල ලංකාපුර වෙද මැදුර නමැති ස්ථානයක සිටින‍ දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය නම් තැනැත්තියක විසින් කොරෝනා ඖෂධයක් බව පවසමින් බෙදාහරින නිෂ්පාදනය නීති විරෝධී වෙළෙඳාමක් බවත් එය වහාම නතර කරන ලෙසත් එසේ නොකළහොත් ඇගේ සියළු ලියාපදිංචි අවලංගුකර නීතිමය පියවර ගන්නා බවත් ඇයට ලිඛිතව දැනුම් දී ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

තරංගා කුමාරි වීක්‍රමසූරිය නමැති ඇය තමන් ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය ලෙස සඳහන් කරගන්නා අතර විවිධ මාධ්‍ය හමුවලට පැමිණ ආයුර්වේද විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් බවත් පවසමින් වංචා සහගත ලෙස කටයුතු කරයි.

තම නමට ඉදිරියේ දේශබන්දු, වෛද්‍ය කීර්ති පමණක් නොව ආචාර්ය ධූරයක් ද සටහන් කර ඇති ආකාරය

ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසන්නේ ආචාර්ය උපාධියක් ඇතැයි ව්‍යාජ ප්‍රචාරයක් කරන ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්ද ලබා නැති බවයි. පාරම්පරික දේශීය වෛද්‍යවරයකු වන ඇගේ පියාගේ පෙළපත ඉදිරිපත් කරමින් මෙම තැනැත්තිය ඉතා මෑතක දී ආයුර්වේද වෛද්‍ය සභාවෙන් පාරම්පරික වෛද්‍යවරියක ලෙස ලියාපදිංචිය ලබා ඇති බව ද ආයුර්වේද වෛද්‍ය සභාව අප කළ විමසීමක දී තහවුරු කළේය. නමුත් ඇගේ දත්ත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද හා දේශීය වෛද්‍යවරුන්ගේ ලේඛනයේ තවමත් යාවත්කාලීන වී නැත.

මෙම තැනැත්තිය විසින් කොරෝනාවලට සැකසූ ඖෂධයක් බව පවසමින් EPIREPIES නමැති නිෂ්පාදනයක් මහා පරිමානයෙන් විකිණීම සිදුකරයි. එහිි ‍එක් බෝතලයක් රුපියල් 2500.00කට අළෙවි කරන අතර මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ පිළිබඳ ඇය විශාල ප්‍රචාරයක් ගෙන යයි. එමෙන්ම රට පුරා ඒ සඳහා නියෝජිතයන්ද පත්කර ඇත.

ඇගේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ඉහළින්ම දක්වා ඇත්තේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි හට එම නිෂ්පාදනය පෙන්වන ඡායාරූපයකි.

රාජ්‍ය අමාත්‍යවරයාට මෙය පෙන්වන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් ද ඇය තම ජාවාරමට යොදා ගනී

දේශීය වෛද්‍ය විෂයභාර අමාත්‍යවරයකුට නිෂ්පාදන ඇසුරුමක් පිරිනමා එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් තම නිෂ්පාදනය සාර්ථක යැයි ද ඊට අවසර ඇතැයි ද කියමින් ජනතාව නොමග යැවීමට ඇය මේ ඡායාරූපය භාවිතා කරයි.

එමෙන්ම කොරෝනා රෝගය සඳහා තමන් නිපදවූ ඖෂධයට ITI ආයතනයේ අනුමැතිය ලැබී ඇතැයි දැක්වෙන සහතික දෙකක්ද ඇය ඉදිරිපත් කරයි. නමුත් ITI යනු කාර්මික තාක්ෂණික ආයතනය බව ඇගේ එම සහිතක ප්‍රචාරය කරන ආකාරය අනුව මෙරට බොහෝ දෙනකුට තේරුම්ගත නොහැකිවනවාට පුදුමයක් නැත. කාර්මික තාක්ෂණික ආයතනය කිසිදු ඖෂධයකට අනුමැතිය ලබා දෙන්නේ නැත. නමුත් යම් ඖෂධයක් හෝ වෙනත් ආහාරයක් හෝ නිෂ්පාදනය කරන විට ඒවායේ අඩංගු සංඝඨක හා අහිතකර රසායනිකයන් අඩංගු වී තිබේ ද සහ වර්ණක තිබේ ද යන්න පිළිබඳ කාර්මික තාක්ෂණික ආයතනයෙන් තත්ත්ව වාර්තාවක් ලබාගත යුතුය.

මෙම වාර්තාවල ඇත්තේ එම නිෂ්පාදනයේ අඩංගු සංඝටක ගැන පමණි. ඉන් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හෝ ඖෂධයක් බව හෝ තහවරු වන්නේ නැත.

කොරෝනා වලට තමන් විසින් නිෂ්පාදනය කළ බව පවසමින් ඇය සිදුකරන මහා පරිමාන වංචාව සාධාරණීකරණය කිරීමට ඇය උත්සාහ ගන්නේ මේ කාර්මික තාක්ෂණික ආයතනය ලබාදුන් එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවකි. එය ඔබට හා මට ද ලබාගත හැකි වාර්තාවක් වන අතර ඉන් මේ නිෂ්පාදනයේ ගුණාත්මක බව හෝ මිනිස් සිරුරට එය හිතකර ද යන්න හෝ ප්‍රකාශ වන්නේ නැත. ඒ අනුව එම වාර්තාව තම ප්‍රචාරය සඳහා ඉදිරිපත් කරමින් ම ඇය කරන්නේ බරපතල වංචාවකි. රටේ ජනතාව නොමඟ යැවීකි. කෝටි ගණනින් කරන මුදල් ජාවාරමට ව්‍යාජ ප්‍රචාරයකි.

තරංගා කුමාරි වික්‍රමසූරිය කොරෝනා සඳහා තමන් නිෂ්පාදනය කළ EPIREPIES නමැති ඖෂධයට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බවයි. ඒ නිසා කිසිදු භියක් සැකක් නැතිව මේ ඖෂධය කොරෝනා රෝගීන් භාවිතා කළ හැකි බවත් කොරෝනා රෝගයෙන් වැළකී සිටීමට එය මහෝපකාරී වන බවත් ඇය පවසයි.

සැබැවින්ම ඇයගේ මේ නිෂ්පාදනයට ආයුර්වේද සූත්‍ර කමිටුවෙන් අනුමැතියක් ලැබී තිබේ ද යන්න විමසා බැලීමට අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ නිල බලයෙන් ලේකම්වරිය වන ශිල්පීය කොමසාරිස් වෛද්‍ය ශාන්ති කුඹුරෙගෙදර ට කතා කළ විට ඇය මෙසේ කීවාය.

“තරංගා කුමාරි වික්‍රමසූරිය ව්‍යෛවරියක් හැටියට මේ මෑතක දී ලියාපදිංචියක් ගත්තා. ඊට පසු ඇය ඖෂධයක් නිෂ්පාදනය කළා කියලා අපිට එය අනුමත කරන්න කියා ඉදිරිපත් කළා. ඇය එය ඉදිරිපත් කළේ උණ සහ සෙම්ප්‍රතික්ෂාවට ඖෂධයක් හැටියට. ඒ සමඟම ඇය ලිපිගොනු ඉදිරිපත් කළා තමන්ගේ නිවස අවට ඉන්න පුද්ගලයන්ට මේ නිෂ්පාදනය දීලා ඉන් සුව වුණා කියලා රසායනාගාර වාර්තා 50ක පමණ ලිපිගොනුවක්. ඇය කියන්නේ ඒවා ඇගේ සායනික පරීක්ෂණ කියලා. නමුත් එය කිසිම අධීක්ෂණයක් නැතිව කරපු දේවල්. ඒ නිසා ඒක අපි පිළිගන්නේ නැහැ. නමුත් මේ නිෂ්පාදනයට යොදා තිබෙන සංඝඨක බැලුවාම එය ප්‍රතිශක්තිය වර්ධනය කරන දෙයක් හැටියට අපිට පිළිගන්න පුළුවන්. ඒ නිසා අපි ඇයගේ නිෂ්පාදනය ප්‍රතිශක්තිය ඇතිකරන දෙයක් හැටියට අනුමත කළා. ඒ වගේම අපි පැහැදිලිවම මෙය ඖෂධයක් යැයි කියා මාධ්‍ය මගින් හෝ වනෙයම් ආකාරයකින් හෝ ප්‍රචාරය කිරීම නොකරන ලෙසත් උපදෙස් දී තිබෙනවා.”

ඇයට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති ලිපිය. මෙහි පැහැදිලිව ම ප්‍රචාරක කටයුතු කළ නොහැකි බවත් ප්‍රචාරයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව අනුමැතියක් ගත යුතු බවත් සඳහන් කර ඇත.

ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසන්නේ කිසිදු ඖෂධයක් එහි නිෂ්පාදකවරයාට ප්‍රචාරය කළ නොහැකි වනවා සේම මාධ්‍ය ආයතනවලට ද ඊට කිසිදු අවසරයක් නැති බවයි. මාධ්‍ය මගින් ඖෂධ පිළිබඳ ප්‍රචාරය කරන්නේ නම් එය ද නීති විරෝධී බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම යම් කිසි ප්‍රතිශක්තීකරණ පානයක් හෝ ප්‍රචාරය කරන්නේ නම් ඊට ද පූර්ව අනුමැතිය ගත යුතු බවත් තරංගා එවැනි අනුමැතියක් ලබාගෙන නැති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

සූත්‍ර කමිටුව පවසන්නේ මේ දේශීය වෛද්‍යවරියක ලෙස මෑතක දී ලියාපදිංචි වී සිටින තරංගා කුමාරි වික්‍රමසූරිය ‍කොරෝනා ඖෂධයක් බව කියමින් විකුණන මේ නිෂ්පාදනය එවැනි කිසිදු රෝගයකට ප්‍රතිකාරයක් ලෙස පිළිගෙන නැති බවයි. ඇය වෙනත් කාරණයකට ලියාපදිංචි කළ නිෂ්පාදනයක් කොරෝනා රෝගීන්ට සුදුසු බව කියමින් ප්‍රචාරය කර විකිණීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී කාර්යයක් බවත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට බවත් සූත්‍ර කමිටුවේ සාමාජිකයෝ කියති.

වෙනත් අරමුණක් සඳහා නිෂ්පාදනය කර සූත්‍ර කමිටුවේ ලියාපදිංචිය ගත් නිෂ්පාදනයක් මෙලෙස ජනතාව නොමඟ යවමින් කොරෝනා ප්‍රතිකාරයක් බවට ප්‍රචාරය කරමින් විකිණීම නීති විරෝධී බැවින් එය වහාම නවතා දමන ලෙසත් එසේ නවතා දමන්නේ නැතිනම් ඇගේ ලියාපදිංචිය අවලංගු කරන බවත් මේ වනවිට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් තරංගා කුමාරි වික්‍රමසූරියට ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇය දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබාගත් අතර ඇතැම් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ද කිසිදු විචාරයකින් තොරව ඊට ප්‍රචාරය දී තිබිණි. එක්තරා පුවත්පතක පළ වූ පහත ඡායාරූපයේ දැක්වෙන ලිපියෙන් කියවෙන්නේ තරංගා කුමාරි වික්‍රමසූරියගේ නිෂ්පාදනය කොරෝනා ඔසුවක් බව පවසමින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත් නොමිළයේ ම ලබාදුන් බවයි. එමෙන්ම දහස් ගණනක් පිරිස් මේ ව්‍යාජ ප්‍රචාරයට රැවටී රුපියල් 2500.00 බැගින් මුදල් දී එය රැගෙන ගියහ.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙම නිෂ්පාදනය ලබාදුන් බව දැක්වෙන පුවත

තරංගා වික්‍රමසූරිය සෘජුවම පවසන්නේ ඇයගේ මේ නිෂ්පාදනය කොරෝනා රෝගියකු පානය කළොත් කොරෝනා සුවපත් වන බවයි. එමෙන්ම ‍ආශ්‍රිතයකු පානය කළොත් පීසීආර් නෙගටිව් වන බවයි. මාස තුනේ ළදරුවාගේ සිට වැඩිහිටියන් දක්වා නියමිත මාත්‍රාව පානය කිරීෆමන් රෝගයෙන් මිදිය හැකි බවයි.

ඇය එසේ කීව ද කොරෝනා සෑදී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යාමට සිදුවූ ගාල්ලේ විශාල පිරිසක් ඇය පවසන මේ බොරු ඖෂධයට රැවටී ඇගේ ජාවාරමට මුදල් දී තිබිණි. ඇගේ නිෂ්පාදනය මුල්වරට අත්හදා බැලූ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ එහි ගුණ කොතෙක් වර්ණනා කළ ද ඔහු ද කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබාගත්තේය. එමෙනම් එම සභාවේ ම නිශාන්ත නමැති මන්ත්‍රීවරයකුට ද තරංගා කුමාරිගේ හොර බෙහෙත බී කොරෝනාවලින් ගැලවීමට හැකිවූයේ නැත. මෙයින්ම ඇගේ වංචාව තහවුරු වෙයි.

ලේඛකයාට තරංගා කුමාරි වික්‍රමසූරිය ප්‍රථම වතාවට හමුවූයේ ඇය ඩෙංගු රෝගය වැළැක්වීමේ හෙළ ඔසුවක් සොයාගත් බව පවසමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය. ඒ අදින් වසර ගණනාවකට පෙර දී ය. එදින ද තමන් ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ බව ඇය කියා සිටියාය. නමුත් ඇයට විශ්වවිද්‍යාලය පිහිටා ඇති තැන පවා කීමට නොහැකි වූවාය. ඇය විශ්වවිද්‍යාලයේ සිටියා යැයි කියූ කාලයේ දී ඇය ගාල්ල කොටුවේ සන්නිවේදන අළෙවි සැළක් පවත්වාගෙන ගිය අතර සංඝමිත්තා විද්‍යාලයේ ඇය සමඟ ඉගෙනුම ලැබූ ආයුර්වේද වෛද්‍යවරියකගෙන් විමසූ විට ඇය කීවේ තරංගා කුමාරි ආයුර්වේද විශ්වවිද්‍යාලයට නොගිය බවයි. තරංගා කුමාරි ඉදිරිපට දී ම එදා මෙම ලේඛකයා ඇගේ ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචිය ආයුර්වේද වෛද්‍ය සභාවෙන් පරීක්ෂා කළ විට තමන් තවම ලියාපදිංචිවී නැති බව තරංගා පිළිගත්තා. නමුත් පසුව ඇය පාරම්පරික වෛද්‍යවරියක ලෙස ලියාපදිංචිය ලබාගෙන තිබීම පිළිබඳ අපි සුබ පතන්නෙමු.

ඇගේ මේ හොර බෙහෙත් ජාවාරම පිළිබඳවත් ඇය පවසන ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙනුත් ඇයට කීමට ඇති දේ මෙහි සටහන් කිරීම මාධ්‍ය සදාචාරය බව අපි පිළිගන්නා කරුණකි. එබැවින් ඇය සඳහන් කරන දුරකථන අංකවලට අමතා ඇය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යයැයි කීව ද අප ගැන දන්නා ඇය කිසිදු සාකච්ඡාවක් ලබාදුන්නේ නැත. එමෙන්ම ඇගේ හොර බෙහෙත් ජාවාරමට කිසිදු විචාරයකින් තොරව ප්‍රචාරය දුන් මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ම කතා කරමින් ඇය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද එවැනි අවස්ථාක් ද ලබාගත නොහැකි විය.

ඇගේ ජාවාරම කරගෙන යනු ලබන සමාජ මාධ්‍යයක සඳහන්ව ඇති දුරකථන අංකයකට ඇමතූ විට ලංකාපුර වෙද මැදුරෙන් බව සඳහන් කරමින් කාන්තාවක් අප සමඟ සම්බන්ධ වූවාය. ඇය කියා සිටියේ මෙම ඖෂධය එක බෝතලයක් රුපියල් 2500.00කට අළෙවි කරන බවයි. එමෙන්ම බෝතල් 100කට වඩා මිල දී ගන්නවානම් වට්ටමක් ලබාදිය හැකි බවත් එය තීරණය කරන්නේ අදාල වෛද්‍යතුමිය බවත් ඇය කීවාය. වෛද්‍යවරිය මේ අවස්ථාවේ නිවසේ රැඳී සිටින බව පැවසූ එම කාන්තාව ඇයට දුරකථනය දිය නොහැකි බව ද කීවාය.

මෙම වෙළඳාම නීතිවිරෝධී වෙළඳාමක් බව ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සූත්‍ර කමිටුව පවසන බැවින් ඒ පිළිබඳ ලිපියක් ලිවීමට තරංගා කුමාරි වික්‍රමසූරිය නමැති දේශීය වෛද්‍යවරියගේ අදහස් දැනගත යුතු බවත් පැවසූ විට ඇය කියා සිටියේ ඔවුන් නීත්‍යානුකූළ වෙළෙඳාමක් කරන බවයි. කෙසේ වෙතත් පොඩ්ඩක් ඉන්න කියා පැවසූ කාන්තාව වෙනත් අයකු සමඟ යමක් කතාකරන ආකාරයත් ඉන් පසු “ඕක තියන්න” යනුවෙන් තරංගාගේ විධානයත් අපට ශ්‍රවණය විය.

මෙම ලිපියෙන් අප අනාවරණය කරනු ලබන තොරතුරු හේතුවෙන් තරංගා වික්‍රමසූරියට හෝ ඇගේ ව්‍යාපාරයට යම් අගතියක් සිදුවන්නේ නම් ඇය ලබාදෙන ඕනෑම ප්‍රකාශයක් මෙහි අප විසින් පළකිරීමට බැඳී සිටින බව ද මෙයින් දන්වා සිටින්නෙමු.

සටහන – සජීව විජේවීර

3 COMMENTS

  1. Dr.කියන්නේ ආචාර්ය උපාධිය ට විතරක්ම නොවන බව කවුරුත් දන්නවා. අනෙක මෙය ඖෂධයක් නොවන බව කියා තිබෙනවා. මෙහි අඩංගු ද්‍රව්‍ය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වන බවක් කියනවා. මෙය කොවිඩ් ප්ප්‍රතිකාරයක් ⁣කියල කියන්නේ නැහැ. නමුත් කොවිඩ් වලට කෙතරම් ධනාත්මක ද කියල දන්නෙ නැහැ.

  2. ලිපිය මුල සිට විමසීමෙන් කියවූවෙමි. මන්ද මම සහ මගේ බිරිඳත් මෙම ප්‍රතිශක්ති කරණ ඔෟෂධය දුර කතර ගෙවා ගොස් රැගෙන විත් පානය කළා. මා නම් මෙම ඔෟෂධය ලබා ගත්තේ ප්‍රතිශක්ති කරණ හා සෙමට ගුණ යන දැනුවත් වීමෙනුයි. එහෙත් පසුව අප දුරකතනයෙන් විමසීම් වලට හෝ එස් එම් එස් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ශිෂ්ට නොවේ යැයි සිතේ.
    වෙළඳාමට බැස්සම වචන ට්‍රික් යෙදීම සදාචාර නොවුනත් කරයි. එසේ කළාද නොදනී. අනෙක් කරුණ සභාපති එය නිසි ලෙස පානය කළාද නොකළාද අප නොදනී. ඔහුන් තම වාසියට ජනතාව රැවටීම කොතැනත් කරයි. බෙහෙත් විද ගත් අයටත් කොරෝනා හැදී අැති නිසා එම තර්කය දමා ගසා දමන ශෙෙලියේ. විශ්වවිද්‍යාල කතාව තුළ දෙපාර්ශවයේම හීන මනස මිස අන් කිසිවක් නොපෙනේ.

  3. සූත්‍ර කමිටුවේ අනුමැතිය දෙන ලිපියද ජනතාව නොමග යවන සුළුය. එය ඖෂධයක් නොවන බව මාධ්‍යකරු කීවත් කමිටු ලිපියේ Drug, Medicine ලෙස දැක්වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?. මෙම නිශ්පාදනය භාවිතා කල හැක්කේ කුමන රෝගයටද යන්න හෝ ප්‍රතිශක්තිකරණ ඔසුවක් ලෙස හෝ එම ලිපියේ කොතනකවත් නැත. දන්නා සිංහලෙන්වත් ලිපිය ලීවානම් හොඳය. හොර ජාවාරම්කරුවන් ට උඩගෙඩි දීමක් වැනිය.

Leave a Reply to සුමති පුංචිහේවා Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!