spot_img
spot_imgspot_img

ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න

පුවත්

විදෙස්

කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි‍ ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප ඇතුළු වෙබ් අඩවි කිහිපයකින් අනාවරණය කළ කරුණු අසත්‍ය බවත් නැව ගිනිගන්නා තුරු එහි රසායනික කාන්දුවක් ගැන තොරුතුරු නොදැන සිටියේයැයි ද එම නැව වෙනත් වරායවලින් හරවා යැවූ බව නොදන්නේ යැයි ද වරාය බලධාරීන් පවසයි.

මෙම අනාවරණය කරන ලද්දේ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන splash247.com වෙබ් අඩවියයි. එම ලිපිය සම්පාදනය කර තිබුණේ Sam Chambers නමැති ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට මාධ්‍යවේදියෙකි. ඔහු නැව් සමාගමේ සභාපතිවරයා සමඟ පවා සාකච්ඡා කරමින් තොරතුරු අනාවරණය කර තිබිණි.

නැවක් වරායකට ඇතුළු කිරීමේ දී ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රමවේදය අනුව X-Press Pearl නැව පිළිබඳ වරාය බලධාරීන් නොදන්නවායැයි කීම අසත්‍යයකි. නැතිනම් එම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමේ දී බරපතල වරදක් සිදුව තිබිය යුතුය. එසේනම් රජයේ බලධාරීන් මේ පිළිබඳ වහාම සොයා බලා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මේ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් පමණක් අපි මෙලෙස සටහන් කර තබන්නෙමු.

වරායකට නැවක් ඇතුළත් කිරීමේ දී Dangerous  cargo declaration ලේඛන අනිවාර්යයෙන් ම සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව කොළඹ වරායට ඇතුළුවීමේ පළමු පියවර වශයෙන් එම වරායේ ඇතුළුවීමේ ප්‍රවේශය ඉදිරිපිට නැංගුරම් ලා ගත් X-Press Pearl නැව අදාල ලේඛන සම්පූර්ණ කර තිබිය යුතුය. එසේ නොවුනා නම් නැවට කොළඹ වරාය ප්‍රවේශය ඉදිරිපිට නැංගුරම් දැමීමට අවසර ලැබෙන්නේ නැත. මේ ලේඛනවල නැවේ අඩංගු සියළු භාණ්ඩ, උපකරණ හා ඝන හෝ දියරමය ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අඩංගු විය යුතුය. ඒ අනුව නැවේ අහිතකර රසායනික අඩංගු බව වරාය දන්නා කරුණකි.

එමෙන්ම නැවේ පිපිරීමකට භාජනය විය හැකි ද්‍රව්‍ය හෝ රසායනිකයන් හෝ ප්‍රතික්‍රියාකාරක අඩංගුද යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ වරාය අධිකාරියේ safety unit නමැති එකකයටයි. එම ඒකකය විසින් අනුමත නොකරන්නේ නම් නැවට වරාය අසළ නැංගුරම් දැමීමට අවසරය ලැබෙන්නේ නැත. එමෙන්ම මේ ද්‍රව්‍ය පිළිිබඳ සමුද්‍ර පරිසර දූෂණ අධිකාරියට සහ රේගුවට දැනුම් දී තිබිය යුතුය. එබැවින් එම ආයතන ද්විත්වය ද නැවේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ දැන සිටිය යුතුව තිබේ.

වරාය අමාත්‍යාංශයේ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය (Merchant Shipping Secretariat) වෙළෙඳ නැව් අධ්‍යක්ෂ නමැති තනතුරක් තිබේ. එම ධූරය වර්තමානයේ හොබවන්නේ අජිත් වික්‍රම සෙනෙවිරත්න විසිනි. ඔහු විසින් මේ සියලු කරුණු සළකා බලා නැව වරායට ඇතුළු කිරීමට සුදුසු තත්ත්වයක පවතින්නේ ද යන්න පිළිිබඳ තීරණය කර අවසර නොදුන්නා නම් නැවට වරාය අසළ නැංගුරම් දැමීමට අවසර ලැබෙන්නේ නැත. මේ සඳහා වරාය මෙහෙයුම් අංශයෙන් (Harbor operation) ලිඛිත අනුමැතියක් ලබාදිය යුතුයි. එමෙන්ම මේ තොරතුරු සියල්ල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ISPS අංශයට ලැබිය යුතුය. මේ යම් අංශයකින් හෝ නිසි අවසරය ලැබී නැතිනම් හෝ එම අවසර ලබාදීමේ ලේඛන වල නැවේ සැබෑ තත්ත්වය පිළිබඳ තොරතුරු අඩංගු නොවන්නේ නම් බරපතල වරදක් සිදුව තිබේ.

මෙහි දී ඇති වැදගත්ම කරුණ වන්නේ නැවක් ඕනෑම වරායකට ප්‍රවේශ වීමේ දී එම නැව ගමන් කළ අවසන් වරාය 10 පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම හා අවසන්වතාට නැංගුරම් දා පිටත් වූ වරායේ තොරතුරු ගොනුව අනිවාර්යයෙන් ම පරීක්ෂා කර තිබීම අත්‍යාවශ්‍ය වීමයි. එමෙන්ම දින ගණනක් අරාබි මුහුදටත් ඈත සිට ශ්‍රී ලංකාව දක්වා පැමිණෙන අතරතුර කිසදු වරායකට මේ නැව ඇතුළත් ‍නොකළේ ඇයිදැයි ශ්‍රී ලංකා වරාය බලධාරීන් නැවේ නියෝජිත ආයතනයෙන් හා කපිතාන්වරයාගෙන් විමසා නොසිටියේ ද යන්න ගැටලුවකි.

කොළඹ වරායේ බලධාරීන් නැවේ අවදානම් තත්ත්වය නොදන්නා බව පවසන්නේ නම් ගිනි ගත් මෙම නැවෙහි කපිතාන්වරයා හා එම නැවේ ශ්‍රී ලාංකික නියෝජිත ආයතනය වූ Sea Consortium Lanka ltd  ආයතනය නැවේ රසායනික කාන්දුවක් ඇති බවත් එය ගිනි ගැනීමේ අවදානමක් ඇති බවත්, ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායවලින් නැව ඇතුළුවීමට ඉඩ නොදුන් බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සඟවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම රජය නීතිමය පියවර ගත යුතුය. එම නියෝජිත ආයතනය නැව් සඳහා සේවා සපයන්නේ රජය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් ඇතිව බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් විමසීමට අප Sea Consortium Lanka ltd  ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චිට ඇමතුමක් ගත්ත ද ඔහු රැස්වීමක බවත් විදේශ ඇමතුම් කිහිපයක් සහ තවත් රාජකාරී කිහිපයක් ඇති බවත් පවසමින් පසුව දුරකථන ඇමතුමක් දෙන බව කියමින් අප සමඟ සාකච්ඡා කළේ නැත.

ඔහු ඇමතුම ලබාදුන් අවස්ථාවක දී එම කරුණු පළකිරීමට අදහස් කරන්නෙමු.

කෙසේ වෙතත් වරාය බලධාරීන් පවසන ආකාරයට නැව කොළඹ වරාය පිවිසුම අසළ දී ගනි ගන්නාතුරු ඔවුන් නැවේ අවදානම දන්නේ නැතිනම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් ක්‍රියාවලිය ඇත්තේ දැඩි අවදානමකය. මෙවැනි තවත් අනතුරු රැසක් ඉදිරියේ දී සිදුවනු ඇත. එවැනි දෙයකින් සිදුවිය හැකි විනාශය ද සුළුපටු නොවනු ඇත. එබැවින් රජයේ බලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වහාම මේ පිළිබඳ සොයා බලා නිසි පියවර ගත යුතුය.

නැවේ තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තරව පිළිගත් නිශ්චිත ක්‍රමවේදයක් තිබිය දී එම කරුණු නොදන්නවා යැයි පැවසීම නිදහසට කරුණක් නොවන බව බලධාරීන්ට අපි නැවත සිහිපත් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!