spot_img
spot_imgspot_img

රටට මහා විනාශයක් ගෙන ආ රසායනික නැවේ ඉරණම (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින X-Press Pearl නෞකාවේ ගින්න නිවා දැමීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ද නොහැකි වනු ඇතැයි පැවසේ.

නැවේ මැද කොටසේ හටගත් ගින්න මේ වනවිට නැව පුරාම ව්‍යාප්තවීම හේතුවෙවන් එය දකුණු පැත්තට ඇළවී තිබේ. නැවේ පිපිරීම් කිහිපයක් ම ඊයේ (25) අළුයම සිට සිදුව තිබිණි. මේ පිපිරීම් සමඟ නැවේ තිබූ කන්ටේනර් කිහිපයක් මුහුදට වැටුණු අතර නැව මේ වනවිට ඇළවී තිබෙන බැවින් ගිනි ගන්නා කන්ටේනර් ද වරින් වර මුහුදට වැටී ගිලී යන බව නාවික හමුදාව සහ සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය විසින් නිරීක්ෂණය කර තිබේ.

එම අධිකාරියේ සභාාපති නීතිඥ දර්ශනී ලහඳපුර පවසන්නේ පවතින දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් වර්ධනය වන බවයි. එය නිවා දැමීමට ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙමින් පවතී. එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ගින්න දැඩිව පවතින බැවින් ඒ ආසන්නයට හෝ කිසිදු යාත්‍රාවකට යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවයි. නැව ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඈතට ඇදගෙන ගොස් එය ගිලී ගියහොත් සිදුවන හානිය අවම කරගැනීමට සැළැස්මක් තිබුණ ද මේ වනවිට එය ද ව්‍යර්ථ වී තිබේ.

ගිනිගන්නා නෞකාවෙන් මුහුදුට තෙල් කාන්දු වෙමින් තිබෙන අතර තවත් විවිධ ද්‍රව්‍ය මුහුදට එක්වී පාවෙමින් තිබෙන ආකාරය ද දක්නට ලැබෙයි. එමෙන්ම මුහුදට එකුතු වූ සුන්බුන් හා විවිධ රසායනික ද්‍රව්‍ය මේ වනවිටත් ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගසමින් තිබේ. ඒවා අතර තෙල්, කන්ටේනර් කොටස් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල තොගයක් ද දක්නට ලැබෙයි. එමගින් දැඩි පරිසර විනාශයක් ද සිදුව ඇති බව සමුද්‍ර පරිසර දූෂණ අධිකරයේ සභාපතිවරයා පවසයි.

X-Press Pearl නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවකි. මෙය 2021 වර්ෂයේ දී භාණ්ඩ ප්‍රවාහනය සඳහා එක්කරන ලද අලුත්ම නැවකි. මීටර 186ක දිග මීටර 34ක් පළලකින් යුතු මෙහි රසායනික ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ ඇසුරුම් කරන ලද කන්‍ටේනර 1,486ක් ඇති බව නැවේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය සඳහන් කරයි.

ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබූ මේ නෞකාවේ ගින්න හටගත්තේ පසුගිය 20 වැනි දාය. ඒ කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරකිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සමඟ එක්ව මේ ගින්න පාලනය කළ ද බෙංගාල බොක්කේ ඇති වූ යාස් සුළි කුණාටුව හේතුවෙන් සුළං වේගය වැඩිවීමත් සමඟ පාලනය වී තිබූ ගින්න පාලනය කළ නොහැකි මට්ටමට ම වර්ධනය විය. මේ වනවිට අධිික ලෙස රත්වීමට ලක්ව තිබූ රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් පුපුරා ගිය බව වරාය අධිකාරිය පවසයි. මෙම පිපිරීමත් සමඟ නාවික හමුදාව විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 25 දෙනා බේරාගත් අතර පිපිරීම හේතුවෙන් තුවාල ලබා සිටි දෙදෙනකු ද රෝහල්ගත කෙරිණි

ගිනිගනිමින් පවතින නැව දෙකඩ වී යාමේ අවදානමක් ඇතැයි ද නාවික හමුදාව පවසයි. එලෙස නැව දෙකට කැඩී ගියහොත් නැව එම ස්ථානයේ ම ගිලී ගොස් ‍ගින්න නිවී ගිය ද නැවේ ඇති තෙල් සහ රසායනික ද්‍රව්‍ය සාගරයට එකතුවීම සිදුවනු ඇත.

එමගින් අතිවිශාල පරිසර හානියක් සිදුවන බව සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය සඳහන් කරයි.

නැවෙන් කාන්දුවන තෙල් සහ රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වරළ වෙත ළඟාවීම වැළැක්වීම සඳහා නෞකාව වටා කලාපයේ ආරක්ෂිත පියවර ගැනීමට අවශ්‍ය වුව ද පවතින සුළං තත්ත්වය හා අයහපත් කාලගුණය ඊට හරස් වී තිබේ.

සමුද්‍ර පරිසර දූෂණ අධිිකාරියේ සභාපතිනිය පවසන්නේ මෙහි දී සංවේදී පරිසර පද්ධති සහ ධීවර කර්මාන්තය කෙරෙහි වැදගත්වන ස්ථාන ආරක්ෂා කරගැනීමට හෝ කටයුතු කරමින් සිටින බවයි. මේ සඳහා අවශ්‍ය කණ්ඩායම් සහ උපකරණ සූදානම්ව පවතින බව ද ඇය පවසන්නීය.

කෙසේ වෙතත් දැනට පවතින කාලගුණික තත්ත්වය අතරතුර මහා පරිමානයෙන් තෙල් හා රසායනික විසරීමක් සිදුවුව හොත් නැව වටා ආරක්ෂිත පියවර ගැනීම අසීරු බවත් සිදුකළ හැකිවන්නේ වෙරළ තීරය පිරිසිදු කිරීම පමණක් බවත් විශේෂඥයෝ අනතුරු අඟවති.

නැවේ තෙල් ටොන් 3500ක් ඇති බව ද වාර්තා වෙයි.

නැවේ ගින්න හේතුවෙන් විශාල දුමක් නිකුත් වෙමින් පවතින අතර එම දුම සුළං ප්‍රවාහත් සමඟින් දිවයින හරහා ගමන් කිරීමේ අවදානමක් ද හටගෙන තිබේ. ගැටලුව වන්නේ මේ දුමේ විෂ රසායනික අඩංගු වීමට ඇති හැකියාවයි. ඒ හේතුවෙන් මේ දුමේ බලපෑම ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන්ට දැඩි අන්තරායකාරී බව ද විශේෂඥයෝ කියති. දුම ආශ්වාසකිරීමෙන් කෙටිකාලීන හා දිගු කාලීන බලපෑම් ඇතිවිය හැකි බව ද ඔවුන්ගේ මතය වී තිබේ.

මෙම නැවේ සාමාන්‍ය භාණ්ඩවලට අමතරව අන්තරායකර භාණ්ඩ පවතින බව ද සභාපතින ලහඳපුර පවසයි.

ඒවා අතර නයිට්‍රික් අම්ලය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් මෙතොක්සයිඩ් සහ වයිනයිල් ඇසිටේට් යන රසායනික විශාල වශයෙන් ඇති බවත් ඒවා ප්‍රතික්‍රියාශීලී රසායනිකයන් වීම අතිශය භයානක බවත් ඇය පවසයි.

එම ද්‍රව්‍යවලට අමතරව රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ද නැවේ විශාල වශයෙන් ගබඩා කර තිබේ. ඒවා ද එකිනෙක ප්‍රතික්‍රියා කළ හැකි බව ද ඇය සඳහන් කරන්නීය.

නෞකාවේ විනාශ්‍යත් සමඟ සාගරයට එක්වන සුන්බුන් හා මේ විෂ රසායනිකයන් වෙරළ තීරයට යොමු වන බැවින් පාවී එන කිසිම ආගන්තු ද්‍රව්‍යයක් ස්පර්ශ නොකරන ලෙස සමුද්‍ර පරසර දූෂණ අධිිකාරිය ඉල්ලා සිටියි.

ඔවුන් පවසන්නේ මේ භාණ්ඩ පරීක්ෂාකිරීමට යාම ජීවිත අවධානමකට හේතුවිය හැකි බවයි. එබැවින් වෙරළේ ඇති ආගන්තුක ද්‍රව්‍ය දුටවහොත් ඒ බව පොලිසියට, නාවික හමුදාවට හෝ සමුද්‍ර පරිසර දූෂණ අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

පරිසරවේදීන් පවසන්නේ ‍මේ නැවේ ගින්න මෑතක දී සිදුවූ පරිසරයට විශාල ලෙස අහතිකරව බලපාන සිදුවීමක් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!