වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.

0
207

රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

බෞද්ධ ජනතාවගේ ප්‍රධාන පිංකමක් වූ වාර්ෂික කඨින මහෝත්සව මේ දිනවල සියලු විහාරස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන බැවින් ප්‍රධාන සංස්කෘතික අංගයක් වූ ඒවා නතර කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියයේ.

කොමසාරිස් ජනරාල් කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

” භික්ෂූන් වහන්සේලා වස් වාසය කිරීම වගේම වස් පිංකම් පැවැත්වීම බෞද්ධ ජනතාවගේ ප්‍රධාන පූජෝත්සවයක් වනවා. ඔවුන් මාස කිහිපයක සිට මේ සඳහා සූදානම් වනවා. මහත්ඵල මහානිශංස තිබෙන පිංකමක් ලෙස සැළකෙන කඨින චීවර පූජා ආදිය පැවැත්වීම බෞද්ධ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක්. නමුත් කොරෝනා පැතිරීමේ අවධානම නිසා අපි ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව පැවැත්වීමේ දී මේ නිර්දේශ අනුගමනය කරන්න කියා අපි විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාගෙන සහ ‍සමස්ථ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

කාරියප්පෙරුම මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව සියලුම ආගමික උත්සවවල දී අවම පිරිසක් සහභාගී විය යුතු බවයි. මෙලෙස සහභාගීවන පිරිස තීරණ කිරීමේ වගකීම අදාල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සහ දායක සභාව සතුවන බව ද ඒ සඳහා සීමාවක් පනවා නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

සියලු අවස්ථාවන්හි දී සමාජ දුරස්ථ භාවය තබාගැනීම, අත් සෝදා පිරිසිදුව සිටීම, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන බව ද හෙතෙම පවසයි. මේ වනවිට සූදානම් කර ඇති ආගමික උත්සව අවම පිරිසක් සහභාගී කර අදාල නිර්දේශ අනුව පැවැත්වීම සුදුසු බවත් ඉදිරියේ දී මේ තත්ත්වයේ වෙනසක් ඇතිවන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන නිර්නායක අනුව කටයුතු කිරීම සුදුසු බව ද බෞද්ද කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කඨින චීවරය වැඩමවීම පෙරහැරකින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමය බවයි. කෙසේ වෙතත් කඨින පෙරහැර පැවැත්වීමේ දී ද සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් අවම පිරිසක් සහභාගී කරගෙන එය සිදුකිරීම සුදුසු බවත් ඒ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here