spot_img
spot_imgspot_img

කොරෝනා ගැන 2013 දී කියූ වෛද්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක්

පුවත්

විදෙස්

වයිරස් රෝගයකින් ලෝකයේ ජනාතවට නුදුරු අනාගතයේ දී ම දැඩි පීඩනයක් එල්ල වී ලෝක ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇතැයි 2013 වර්ෂයේ දී විද්‍යාත්මකව කරුණු අනාවරණය කළ ශ්‍රී ලාංකික විද්වතකු වූ වෛද්‍ය චමල් සංජීවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔහු එදා කියා සිටියේ කොරෝනා කාණ්ඩයේ වයිරසයක් ‍ලෝකයේ දිශානතිය වෙනස් කළ හැකි බවයි.

විවිධ මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක කරුණු ජනතාව වෙත ඉතාමත් සරල සහ පැහැදිලිව සන්නිවේදනය කරන ජනමාධ්‍ය පිළිබඳ කෘතහස්ථ දැනුමකින් යුතු වෛද්‍ය චමල් සංජීව මේ වනවිට ‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරයි.

කොරෝනා පළමු රැල්ල ආරම්භයේ පටන් මේ දක්වාම ඔහු ජනතාව වෙත මෙම වසංගතයෙන් බේරී සිටිය යුතු ආකාරයත් අනුගමය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන ලදී. තමන් විසින්ම ලියන ලද පුවත්පත් හා වෙබ් ලිපි, රූපවාහිනී වැඩසටහන්වල දී කරනු ලබන කරුණු දැක්වීම් මෙන්ම වෙනත් වෛද්‍යවරු, සෞඛ්‍ය ප්‍රධානීන් සහභාගීවන වැඩසටන් මෙහෙයවමින් ද ඔහු තම සන්නිවේදන මෙහෙවර කරගෙන ගියේය.

පසුගිය දා ඔහු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ Truth with Chamuditha YouTube සාකච්ඡාවට ද එක්වූයේය. එම වැඩසටහන යූ ටියුබ් ඔස්සේ විකාශය වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියකුට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හෝ තොරතුරු ලබාදීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

මේ අතර ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය විසින් වෛද්‍ය චමල් සංජීවට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම විනය පරීක්ෂණය පිළිබඳ දැනගන්නා විට වෛද්‍ය චමල් සංජීව තම පර්යේෂණ අධ්‍යයන කාර්යයක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් සිටි අතර පරීක්ෂණය සිදුකරන නිලධාරීන් පවසා ඇත්තේ වෛද්‍යවරයා සිටින ස්ථානය වූ හම්බන්තොට ප්‍රදේශයට පැමිණ ප්‍රකාශයක් සටහන් කර ගත හැකි බවයි.

කොරෝනා මර්ධන කටයුතුවලට කිසිදු උනන්දුවක් ‍නොදක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් වෛද්‍ය චමල් සංජීව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය භාවිතා කිරීම වරදක් යැයි කියමින් එය සනාථ කරගැනීම සඳහා ලහි ලහියේ හම්බන්තොට යාමට උනන්දුවීම නම් පුදුම සහගතය.

නමුත් මේ පසු පස ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව සැකකළ හැකි සාක්ෂි තිබේ. වෛද්‍ය චමල් සංජීව හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස සේවය කරන වකවානුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රසිද්ධියේ ම කටයුතු කළේය. ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි වෛද්‍ය චමල් සංජීවට ඔහුගේ සුදුසුකම් අනුව ස්ථානයක් ලබා නොදීමට කටයුතු කළ එම සංවිධානය ඔහු දකුණු පළාත් ‍නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූරයට පත්වූ වහාම ඊට එරෙහිව කටයුතු කරමින් ඔහු එම ධූරයෙන් ඉවත්කිරීමට වෙහෙස වූයේය. එම තනතුරට ඔහු පත්කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වුව ද දේශපාලන බලපෑම් යොදා ගනිමින් ඔහු එතැනින් ඉවත් කරන ලදී. ඉන් අනතුරුව ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමක් ලබා දී ඇත.

මීට පෙර කොරෝනා මර්ධන කාලයේ දී ‍ජනතාව බේරාගැනීම වෙනුවෙන් ඉදිරි පෙළ කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන අය ද ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන්  අමාත්‍යාංශයේ ගිලටීනයට හසුවිය. ඒ ගොඩට වැටුණු අලුත්ම සාමාජිකයා වන්නේ වෛද්‍ය චමල් සංජීවයි.

මානව හිමිකම් විශේෂඥයන් පවසන්නේ මෙවන් වසංගතයක් පවතින අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මාධ්‍යවෙත අදහස් දැක්වීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට තහනම් කර තිබීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, තොරතුරු පනත හා මානව හිමිකම් යන කරුණු සියල්ල අනුව වරදක් බවයි.

ව්‍යසන අවස්ථාවක දී වෛද්‍ය චමල් සංජීව වැනි වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කෘථහස්ත දැනුමක් සහිත විද්වතුන් හැකිතාක් සන්නිවේදනයේ යෙදීම සිදුවිය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන්නේ එම අවස්ථාවේ දී ජනාතව දැනුම්වත් කිරීමෙ පසෙක තබා ජනතාවට වැරදි තොරෙතුරු දෙමින් මෙන්ම තොරතුරු නිස‍ිලෙස සන්නිවේදනය නොකර ඔවුන් මරණ මංචකයට කැඳවීම බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ පවසති.

1 COMMENT

  1. සොක්‍රටීස් ඇතුළු බොහෝ දාර්ශනිකයින් ට අතීතයේ මරණ දඬුවම පවා ලබා දුන්නේ ඇත්ත කියපු නිසා.

    ඔවුන් ඒ ඇත්ත මරණය ඉදිරියේදීද නිර්භයව ප්‍රකාශ කතා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!