spot_img
spot_imgspot_img

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක

පුවත්

විදෙස්

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක් සිදුකර ඇති බව rata.lk වෙත අනාවරණය වී තිබේ. මේ පිළිබඳ එම කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් අප විමසීමක් කළ විට ඔහු කියා සිටියේ “ඔයාලගේ  පණ්ඩිත කම් අපට වැඩක් නෑ” යනුවෙනි.

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 ප්‍රතිඵල මෙලෙස වංචා සහගත ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙම විභාගය 2021 පෙබරවාරි මස 06 වැනි දින ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන තුනක දී පවත්වා තිබේ. එහි දී සෞඛ්‍ය පරිපාලක තනතුර  සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 66 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 60 දෙනකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 42 දෙනකු ලෙස මෙම තරඟ විභාගයට ඉදිරිපත්ව ඇත. ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛණ පසුගිය මාර්තු මස  24 වැනි දා නිකුත් කර ඇති බව සඳහන් කරමින් මාර්තු මස 29 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ www.psc.sp.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර තිබිණි.

මෙහි දී වංචාව සිදුකර ඇති බව අප වෙත වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ලේඛනයේය. එම ලේඛනය පී.ඩබ්ලිව්.වික්‍රමසිංහ විසින් සකසා ජේ.ඩී.සී.හසන්ති සහ එස්.එම්.යූ.අයි. ද සිල්වා යන දෙදෙනාගේ පරීක්ෂාවෙන් පසු කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම විසින් අත්සන් කර ඉදිරිපත් කර තිබේ.

මාර්තු මස 29 වැනි දින නිකුත් කරන ලද ප්‍රතිඵල ලේඛනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළම ලකුණු ලාභියා ලෙස සඳහන් වන්නේ අයදුම් පත්‍ර අංක 2085330003 යටතේ විභාගයට ඉදිරිපත් වූ කිරම, මාපිටකන්ද පදිංචි කුලසිංහගේ ඉරේෂා සෙව්වන්දි නමැති අයෙකි. ඇය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට ලකුණු 70ක් සහ භාෂා නිපුණතාව පිළිබඳ ප්‍රශ්න පත්‍රයට ලකුණු 76ක් ලබා දිස්ත්‍රික්කයේ පළමුවැනිය වී ඇත්තේ ලකුණු 146ක් හිමිකරගනිමිනි.

මාර්තු 29 දිනයේ දී නිකුත් කළ ලේඛනයේ පළමුව වැනියා ලෙද සක්වා ඇත්තේ කුලසිංහගේ ඉරේෂා සෙව්වන්දි නමැති අයෙකි.

එම ලේඛනයේ 24 වැනි ස්ථානයට පත්ව ඇත්තේ මුතුකුමාරණ වගාච්චිගේ ඉමල්ෂා චතුරානි නමැති වීරවිල සේදවත්තේ දිංචි අයදුම්පත්‍ර අංක 2085360030 යටතේ ඉදිරිපත් වූ තැනැත්තියකි. ඇය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට ලකුණු 66ක් සහ භාෂා නිපුණතා පරීක්ෂණයකට ලකුණු 40ක් ලබාගෙන මුළු ලකුණු 106ක් හිමිකරගෙන තිබිණි.

මාර්තු 29 වැනි දිනි නිකුත් කළ ලේඛනයේ 24 වැනි ස්ථානය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

මෙම ප්‍රතිඵල ලේඛනය කොමිෂමේ ලේකම්වරයාගේ අත්සන සහ දම්පැහැති නිල මුද්‍රාවක් ද දැක්වෙන ලේඛනයකි.

නමුත් අද මැයි 17 වැනි දින දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම විභාගයේ ප්‍රතිඵල ලේඛනය වෙනස් කර නව ලේඛනයක් සටහන් කර තිබිණි. එම ලේඛනය සැකසූ දිනය ද මාර්තු 24 වැනි දිනය ලෙසම දැක්වේ.

එම ලේඛනයේ ද සැකසූ අයගේ අත්සන් සහ පරීක්ෂාකළ අයගේ අත්සන් මෙන්ම ලේකම්වරයාගේ අත්සන් දැක්වුව ද ඒවා ඡායාපිටපත් අත්සන් බව පැහැදිලිව නිරීක්ෂණ්‍ය වෙයි. මෙම දෙවැනි ප්‍රතිඵල ලේඛනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහත තරඟ විභාගයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ පළමු ලේඛනයේ 24 වැනි ස්ථානයේ සිටි තැනැත්තිය බව දැක්වේ. ඇගේ ලකුණු ගණන ද වෙනස් වී ඇත. සාමන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට ලකුණු 66ක් ලෙස දැක්වෙන අතර භාෂා නිපුණතා පරීක්ෂණයට තිබූ ලකුණු 84ක් ලෙස වැඩි කර තිබේ. ඇය ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව 150ක් ලෙස දක්වා ඇත.

මෙම ලේඛනය දෙවනුව නිකුත් කරන ලද ලේඛනයයි. එහි පළමු ස්ථානයේ නම සඳහන් කර ඇත්තේ මීට පෙර තිබූ ලේඛනයේ 24 වැනි ස්ථානයේ තිබූ නමයි

මෙය ප්‍රතිඵල වංචාවකි. මෙම තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දිනවල දී ම රාජ්‍ය සේවා කොමිෂමෙන් එම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ හැකි දැයි විභාග අපේක්ෂකයකු විසින් විමසූ අවස්ථාවේ දී එලෙස ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකියැයි කොමිෂන් සභාවේ නිලධාරිනියක පවසන හඬ පටයක් අප සතුව තිබේ.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකි බව මෙයින් කියයි.

එදා එසේ කීව ද අද මේ ප්‍රතිඵල ලේඛනය වෙනස් වීම ගැන කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමයෙක් අපිට කතා කළා. එයා බොහොම දක්ෂ ළමයෙක්. එයා කිව්වා එයාට මීට වඩා ලකුණු තිබිය යුතුයි කියලා. ඒ නිසා අපි එයාගේ ප්‍රශ්න පත්‍ර ගෙන්නවගෙන නැවත බැලුවාම එකතුකිරීම්වල වැරැද්දක් තිබුණා. ඒ නිසා අපි ඒක නිවැරදි කරලා නැවත හැදුවා.”

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකියැයි කී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හම්බන්තොට තරුණියක් කතා කළ විට ඒ කොන්දේසි අමතකවූයේ කෙසේ දැයි විමසිය යුතුය.

එමෙන්ම ඔහු කියන පරිදි සැබැවින්ම අ‍ැය ප්‍රතිඵල දැනගෙන එය පළිගත නොහැකි බව දැනුම් දී නැවත පරීක්ෂා කළානම් දෙවැනි ප්‍රති‍ඵල ලේඛනයේ ද අත්සන් තැබූ දිනය මාර්තු 24 වැනි දිනය ලෙස සටහන්වීමට කිසිදු හැකියාවක් නැත. ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ ද මාර්තු 29 වැනි දා ය. එමෙන්ම දෙවැනි ලේඛනයේ ඇත්තේ ලේකම්වරයා ඇතුළු අනිකුත් නිලධාරන්ගේ අත්සන්වල ඡායාපිටපත් පමණි. මේ අනුව මෙය කූඨ ලේඛන සැකසීමක් ද වෙයි.

දකුණේ සෞඛ්‍ය පරිපාලක පුරප්පාඩු ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ 03ක්, මාතර දිස්ත්‍රික්කයේ 02ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 01ක් වශයෙනි. ඒ අනුව හම්න්තොට දිස්ත්‍රික්කයෙන් රැකියාව හිමිවන්නේ රාජ්‍ය සේවා කොමිසමේ විභාග ප්‍රතිඵල වංචාවකින් උඩට ගත් නම හිමි තරුණියට පමණක් බව පැහැදිලිය.

මේ පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරද්දී ඔහු තම වරද පිළින්නේ නැති බැවින් අපි 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලන්නම් යැයි කී විට ඔහුට තම කතාව පාලනය කරගත නොහැකි විය. ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කළේය. මේ අප ඔහු සමඟ ඇතිවූ සංවාදයයි.

මම – ලේකම් තුමා මම මාධ්‍යවේදී සජීව විජේවීර

ඔහු – ඔව්

මම – දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් 2021 පෙබරවාරි 06 පවත්වපු විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල ලේඛනය මාර්තු 29 වැනි දා දාපු එක නැවත වෙනස් කරලා අද දාලා තියෙනවා. ඉස්සෙල්ලා දාපු ප්‍රතිඵල ලේඛනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 01 වැනියට හිටපු කෙනා 02 වැනි තැනට දාලා 24 වැනියට හිටපු කෙනා 01 වැනියා කරලා. මේක වරදියි නේද ?

ඔහු – මෙහෙමයි. ඒ 24 වැනියාට හිටපු ළමයා අපිට කිව්වා එයාට මේ ප්‍රතිඵල පිළිගන්න බැහැ කියලා. ඒ නිසා අපි මේ ළමයාගේ උත්තර පත්‍ර බැලුවාම ලකුණු අඩුවෙන් එකතු කරලා තියෙන්නේ. ඒක නිවැරදි කරලා නැවත දැම්මා.

මම – මේ විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කරන්න බැහැනේද ?

ඔහු – බැහැ. නමුත් මේ ළමයාගේ ඉල්ලීම අපි සළකා බැලුවා.

මම – එතකොට අනිත් අයත් නැවත පරීක්ෂණ ඉල්ලුවොත්.

ඔහු – දැන් ප්‍රතිඵල නිකුත් කරලා ඉවරයි.

මම – මෙතන වංචාවක් වගේම නීති විරෝධී වැඩක්, විභාග කොන්දේසි උල්ලංඝනය කිරීමක් කරලා තියෙනවානේ.

ඔහු – මේක අපේ තීරණයක්

මම – මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ ළමයා ඇතුළු කිහිප දෙනෙකුගේ පිළිතුරු පත්‍ර ලේඛන පරීක්ෂා කරන්න ඉල්ලනවා. මම දැන් ඔබතුමාගේ කාර්යාලයට ඇවිත් ඒ ලේඛන පරීක්ෂා කරන්න ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද ?

ඔහු – ඒක අපි සළකා බලා තීරණය කරන්නේ දැන් ආවට දෙන්නේ නැහැ. දෙනවනම් දෙන්නේ දින 14කින්.

මම – ලේකම් තුමා තොරතුරු දැනගැනීමේ පනත අනුව දින 14ක් කියන්නේ ඔබතුමාගේ කාර්යාලයට ගත කළ හැකි උපරිම කාලය. නමුත් අපි දන්නවා මේවා කාර්යාලයේ තිබෙන ලේඛන. ඒකට දින 14ක් අවශ්‍ය නැහැනේ.

ඔහු – ඔයාලගේ පණ්ඩිතකම් අපිට වැඩක් නෑ. අපි වැඩ කරන්නේ අපිට ඔ්න විදියට.

යනුවෙන් කියා ඔහු දුරකථනය විසන්ධි කළේය.

අපි ඔහුගේ කාර්යාලයට ගියෙමු ලේඛන පරීක්ෂා කිරීමටත් තවත් තොරතුරු කිහිපයක් ද ඉල්ලා තොරතුරු පනත යටතේ ඉල්ලුම් පත්‍ර භාර දී තොරතුරු නිලධාරියාට කතා කළ විට ඔහු කීවේ සාකච්ඡා කර බලා ඒවා දිය හැකිදැයි දැනුම් දෙන්නම් යනුවෙනි.

පළාත් රාජ්‍ය සේවා කොමෂන් සභාව යනු පොදු අධිකාරියකි. කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙන්ම කාර්යාල සේවකයෝ ද වැටුප්, දීමනා සහ සියලු වරප්‍රසාද ලබන්නේ මහජනතාවගේ මුදලිනි. ඔවුන් මේ කරුණු හෙළිකිරීමට බැඳී සිටියි.

ඉතිරි ප්‍රශ්න ටික අසන්නට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ඉඩ දුන්නේ නැත. අපට අසන්නට තිබූ ප්‍රශ්න කිහියක් ද අපි මෙසේ සටහන් කරතබන්නෙමු.

  1. දෙවැනි ප්‍රතිඵල ලේඛනයේ සැකසූ දිනය සඳහන් වන්නේ මාර්තු 24 වැනි දිනයයි. පළමු ප්‍රතිඵල ලේඛනයේ ද එම දිනයම සඳහන් වේ. නමුත් ප්‍රතිඵල නිකුත් කළ දිනය මාර්තු 29 වැනි දිනය බැවින් ඇය සැබැවින්ම කතා කර තම ප්‍රතිඵල පිළිගත නොහැකියැයි පැවසීම හේතුවෙන් නැවත සමීක්ෂණයක් කළානම් එම ලේඛනයේ දිනය 24 වීමට හැකියාවක් නැත.
  2. ඇය මේ බව දැනුම් දුන් ලිඛිත සාක්ෂි තිබේ ද ?
  3. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ මණ්ඩලයේ සාමාජිකයන් කවුරුන්ද ?
  4. එය සමීක්ෂණය කළේ කවදාද ?
  5. සමීක්ෂණ මණ්ඩලයේ පැමිණීම පිළිබඳ අත්සන් ලේඛනය කෝ ?
  6. ඔවුන්ට ගෙවීම් කරන ලද වවුචර තිබේ ද ?

මෙම ප්‍රශ්න ඇසීමට පෙර ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිෂම යනු තම හිතුමතයට තීරණ ගන්නා ස්ථානයක් යැයි සිතා දුරකථනය විසන්ධි කළ බැවින් අපි තොරතුරු පනත යටතේ ඉහත තොරතුරු ඉල්ලා සිටියෙමු.

නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා ද මෙම ලේකම්වරයා බව ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වේ.

(සජීව විජේවීර)

ඔබත් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ මෙවන් වංචාවලට හසුවී ඇත්නම් ඒ පිළිබඳ අපට දැනුම් දෙන්න

email – [email protected]

4 COMMENTS

  1. CS කාරයොන්ට වැඩ බැහැ. උන් දන්නේ හොරකම් කරන්න විතරයි. ඒකවත් හරියට කරගන්න බෑ. අතේ මාට්ටු වෙනවා.

    ඒක තමයි සමහර වෙලාවට දේශපාලඥයන් මුන්ට බල්ලන්ට වගේ බැන වදින්නේ. උන්ටත් මේ වගේ එවුන් අප්පිරියයි.

    මුන්ගෙ හොරකම් අහුවුනාම කරන්නේ හොරකම් අල්ලගත්ත මිනිහට ඔය වගේ ගොංපාට් දාලා පුප්පනවා.

    ඔය වගේ උන් දෙකට තුනට නැවිලා බලු වෙන්නේ අධිකරණය ඉදිරියේදී විතරයි. එතෙන්දි බලූ කුක්කො වෙන්වා.

    මාධ්‍ය වලට හොරකම් එළි වුණා කියලා කිසිදු ලැජ්ජාවක් මුන්ට නෑ. ඉහළ තනතුරුවලට ගන්න කොට DNA පරීක්ෂාව කරල ඇත්ත තාත්තා ගැන හොයල බැලුවනම් හරි.

    මුළු දකුණු පළාත් සභාවේ රාජ්‍ය සේවයේ අති බහුතරය ඉන්නේ කිසිම වැඩක් බැරි දූෂිතයන් විතරයි.

    දකුණු පළාත් සභාවේ ජේවීපී එකේ මන්ත්‍රීවරයෙක් හිටියා නලින් හේවගේ කියලා. කවදාවත් දකුණු පළාත් රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන් ගැන කතා කරලා නෑ. ටීවී එකේ දෙන කයිය දකුණු පළාත් සභාවේ දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් නැහැ. ඔය සේරම එකයි. සේරම කරන්නේ මිනිස්සු රවට්ටන එක.

    දකුණු පළාත් සභාවේ සිදුවන සියලුම දූෂණ ගැන ගේමට බහින්න ඕන ඔය නලින් හේවගෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා.

    ඒ වුණත් ඒක කරන්න වෙලා තියෙන්නෙ “Rata.lk” ට නේද ?

  2. ජාතික දේශ දේශපාලනයට ටීවී එකට ඇවිත් “සටන” වැනි වැඩසටහන් වල කතා කරන්න කලින් තමන්ට ජනතාව බාර දුන්න දකුණු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයාගේ රාජ්කාරිය ඉටුකරන්න.

    දකුණු පළාත් සභාවේ දූෂිත නිලධාරීන් සිදුකරන දූෂණ ගැන මේ පුද්ගලයා ඔය ටීවී එකට ඇවිත් කවදාවත් කතා කරන්නෙ නෑ. පළාත් සභා ඡන්දයක් ආවොත් විතරක් මොනාහරි කියයි. ඒ කියන්නේත් දේශපාලක වරුන්ගේ වැරදි මිසක් දූෂිත නිලධාරීන්ගේ වැරදි නෙවෙයි . තනිකරම ඩබල් ගේම් නිලධාරීන් එක්ක.

    දකුණු පළාත් සභාවේ හිටියා සූත්තර පුංචා කියලා දුෂිත නිලධාරියෙක්. මිනිහා එක්ක මාර විදියකට මේ මනුස්සයා හිතවත්. ඔෆිස් එකේදි දෙන්නගෙ තියෙන යාලුකම අපි දැකල තියනවා.

  3. දකුණු පළාත් සභාවේ දූෂිත නිලධාරීන් හැමදාම රැකුණේ ඔන්න ඔය වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිසා.

Leave a Reply to rohita Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!