spot_img
spot_imgspot_img

කොළඹ කොරෝනා එන්නත දෙන ක්‍රමය අසාධාරණයි ?

පුවත්

විදෙස්

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සකසා ඇති Online ලියාපදිංචි ක්‍රමය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත් පැය ගණන් රස්තියාදුවීමට සිදුව ඇති බවත් එන්නත් ගැනීම සඳහා එම ක්‍රමයට ලියාපදිංචිවූ පිරිස් කියති. මේ පිළිබඳ කොළඹ නගරයේ ජීවත්වන හා රැකියාවේ නිරත වූ කිහිප දෙනකු ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් පළකර තිබිණි.

ඔවුන් පවසන්නේ වෙබ් අඩවියට ප්‍රවේශ වී මේ සඳහා ලියාපදිංචි වූ බවයි. ඉන් පසු ඔවුන්ට එන්නත ලබාගැනීම සඳහා නිශ්චිත දිනයක් හා වේලාවක් ලැබෙයි. තමන්ට ලැබෙන නියමිත වේලාවට එහි ගිය ද ඔවුන්ට දක්නට ලැබෙන්නේ ඉතා දිගු පෝළිමකි. ඇතැම් අවස්ථාවල දී මේ පෝළිම මීටර 500ක් පමණ දිගැතිය. එමෙන්ම ඒ අසළම තවත් කෙටි පෝළිමක් ද දක්නට ලැබෙයි.

Online ලියාපදිංචිවූ පිරිස් පවසන්නේ දිගු පෝළිම තමන් වැනි අයට බවයි. කෙටි පෝළිම කිසිදු ලියාපදිංචි වීමකින් හෝ කලින් වේලාව වෙන්කර ගැනීමකින් තො‍රව එහි පැමිණෙන පුද්ගලයන් සඳහා බවයි.

කලින් ලියාපදිංචි වී පැමිණෙන අයට මෙලෙස දිගු පෝළිමක රැඳී සිටීමට සිදුවීමත් කිසිදු ලියාපදිංචියකින් තොරව පැමිණෙන අයට කෙටි වේලාවකින් එන්නත ලබගැනීමට හැකිවීමත් බලවත් අසාධාරණයක් බව Online ක්‍රමයට එන්නත ලබාගැනීමට ගිය පිරිස් කියති.

ඔවුන්ගෙන් අයකු මෙසේ සටහනක් තබා තිබිණි.

“මම කලින් දිනය සහ වේලාව වෙන්කරවාගෙන එන්නත ලබාගැනීමට නියමිත තැනට නියමිත වේලාවට ගියත් මගේ ලියාපදිංචිය සම්පූර්ණ කරගැනීමට පැය දෙකකට වැඩි කාලයක් බලා සිටියා. මේ රස්තියාදුවෙන් පස්සේ අනෙක් වැඩවලට ගතවෙන්නේ විනාඩි 15ක් වගේ කාලයක්. මෙය මහ පුදුමයක්. අපි Online පහසුකම් අරගෙන ඒ ක්‍රමයට අනුගත වෙන්නේ රස්තියාදු නොවීමට කාර්යයන් පහසු කරගැනීමට. නමුත් සිදුවෙන්නේ අපි මෝඩයන් බවට පත්වීම. මටත් කලින් ලියාපදිංචි නොවී ගියානම් ඉතාමත් ඉක්මණින් නියමිත එන්නත අරගෙන ආපසු ඒමට තිබුණා. මෙය සම්පූර්ණයෙන් ම අසාර්ථක හා අකාර්යක්ෂම වැඩපිළිවෙලක්.”

මෙම අත්දැකීම ලබාගත් තවත් පුද්ගලයෙක් අප සමඟ මෙසේ කීවේය.

“‍කොළඹ මහ නගර සභාවේ Online ක්‍රමයට ලියාපදිංචි වී එන්නත ගත හැකියි දැනගත් පළමු අවස්ථාවේ දී ම මම ඒ සඳහා ලියාපදිංචි වුණා. මෙය ඉතාමත් හොඳ නිර්මාණයක් කියා මා විශ්වාස කරනවා. නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඇත්තටම මේ ක්‍රමය නිසා ජනතාව අමාරුවේ වැටී තිබෙනවා. පැය ගණන් අව්වේ කරවෙමින් සියලු වැඩ පාඩු කරගනිමින් කාලය ගත කරන්න සිදුවෙනවා. අපි එන්නත ගත යුතුයි. නගර සභාව මෙය Online ක්‍රමයට ලබාදීමට ගත් උත්සාහය ප්‍රශංසනීය වුණත් දැන් එය අසාර්ථක වෙලා බව අපි අත්දැකීමෙන් දන්නවා.”

අපේ මාධ්‍යවේදීන් ද මේ ක්‍රමය නිරීක්ෂණය කළ විට අනාවරණය වූයේ Online ලියාපදිංචි වූ පුද්ගයන් දෙවර්ගයක් සිටින බවයි. ඒ කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි ජනතාව සහ රැකියා සඳහා කොළඹට තාවකාලිකව සංක්‍රමණය වූ ජනතාව වශයෙනි. එන්නත් ලබාගැනීම සිටින Online ලියාපදිංචි පෝළිම හා ලියාපදිංචි නොවූ පුද්ගලයන් සිටින පෝළිම් දෙක අතර බැලූ බැල්මටම පෙනෙන වෙනස්කම් කිහිපයක් ද අපට නිරීක්ෂණය කළ හැකිවිය.

Online ලියාපදිංචි පුද්ගලයන් සිටින පෝළිමේ සිටින බොහෝ දෙනකු පැමිණෙන්නේ නවීන පන්නයේ වාහනවලිනි. පෝළිමේ සිටින හෝරා කිහිපය ම ඔවුන් තමන් අත ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ සැරි සරනු නිරීක්ෂණය කළ හැකිවිය. ඔවුන් බොහෝ දෙනකුගේ කතා බහින් අවබෝධ වූයේ වැඩි දෙනකු කොළඹ පදිංචිකරුවන් නොව කොළඹට තාවකාලිකව සංක්‍රමණය වන්නන් බවයි. ඔවුන් විවිධ පළාත්වල සිටින තම නෑයන්ට එන්නත් ගැන විස්තර පවසති. මොවුන් වැඩි දෙනකු ඉහළ මධ්‍යම පන්තිය හා ධනපති සමාජය නියෝජනය කරන බව පැහැදිලිය

ලියාපදිංචි නොවී පැමිණෙන බහුතරයක් පහළ මධ්‍යම පන්තියේ හා අඩු ආදායම්ලාභීන් බව පෙනෙන්නට තිබේ. පෝළිමේ සිටින කාලයේ දී අන්තර්ජාලයේ සැරි සරන්නට ඔවුන්ට smart phone නැත. එන්නේ පා ගමනින් හෝ යතුරුපැදියෙනි. නැතිනම් කිහිප දෙනකු එකතු වී ත්‍රී රෝද රථයකිනි.

මේ පෝළිම් දෙකෙන් පෙන්‍වන්නේ කොළඹ සමාජ පරතරය බව අප මාධ්‍යවේදීහු කියති.

එහි ගිය මාධ්‍යවේදීන් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එන්නත් කරන එක මධ්‍යස්ථානයකින් එක් දිනකට එන්නත් 750ක් පමණ ලබාදෙන බවයි. Online ක්‍රමයට ලියාපදිංචි වූ පිරිස් සඳහා එන්නත් 500ක් හා ලියාපදිංචි නොවූ පිරිසට එන්නත් 250ක් වශයෙන් මෙම ප්‍රමාණය එන්නත් කරන බව ඔවුන් පවසා ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවසන්නේ මෙවැනි කතාවකි.

“Online ලියාපදිංචි වෙන අය හිතනවා ආපු ගමන් එන්නත ගන්න පුළුවන් කියලා. නමුත් අපි හිතමු උදේ 9.00ට පැමිණෙන්න කියලා ලියාපදිංචි වූ අයෙකුට දැනුම් දීලා තියෙනවානම් උදේ 10.00ට එන්න තියෙන කෙනත් ඇවිත් උදේ 7.30-8.00 විතර ඉඳලා පෝළිමේ ඉන්නවා. 9.00 එන එක්කෙනා ඒ වෙලාවට ආවත් පෝළිමේ ඉන්න වෙනවා. එන්නත් කරන අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේ කිලෝ මීටර භාගයක් විතර දිගට තියෙන පෝළිම හොය හොයා කට්ටියට වෙන්කරපු වෙලාවල් බල බලා ඒක පිළිවෙලක් කරන්න බැහැ. ඒ නිසා අපිටත් වෙලා තියෙන්නේ ආපු පිළිවෙලට එන්නත් කරන්න. එතන දී අසාධාරණයක් වෙනවා තමයි. මේ Online ක්‍රමයට සිදුකරන දේවල්වලට අපේ රටේ ජනතාව තවම පුරුදුවෙලා නැති බව මෙයින් පෙනෙනවා. ඒ නිසා මේක අසාර්ථකයි කියලා සමහරු අර්ථකථනය කරනවා. සමහරු ඇවිත් අපිත් එක්කත් රණ්ඩු වෙනවා.”

Online ක්‍රමයට කොළඹ පදිංචියක් නොමැති රැකියා සහ වෙනත් කටයුතු සඳහා කොළඹට තාවකාලිකව සංක්‍රමණික වූවන්ට වැඩි අවස්ථාවක් ලැබීම කොළඹ ස්ථිර පදිංචිය සහිත ජනතාවට සිදුවන අසාධාරණයක් නොවේ දැයි අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු මෙසේ කීවේය.

“ඔව් කොළඹ ස්ථිර පදිංචි අයට අසාධාරයක් වෙනවා කියා අපිත් පිළිගන්නවා. කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි ලක්ෂ 06ක් ඉන්නවා සංක්‍රමණිකයන් ඊටත් වඩා වැඩියි. කොරෝනා වසංගතයෙන් කොළඹ අවදානම නැතිකරන්න නම් අපි පදිංචි අයට වගේම සංක්‍රමණික අයත් එකතුකළාම ඒ සමස්ථයෙන් සියයට 70ක් පමණ අවම වශයෙන්එන්නත් කළ යුතුයි. ඒක විශාල අභියෝගයක්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය Online ලියාපදිංචි වෙන අය ඒ සඳහා යොදන දත්ත නිවැරදි ද කියා දැනගැනීම. අපිටත් සැක මතුවූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එතනදීත් එන්නත සැබෑවටම හිමිවිය යුතු අයට ලොකු අසාධාරණයක් වෙනවා.”

අප දන්නා හඳුනන තරුණියක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් එන්නත් කරගෙන තිබිණි. ඇය කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවේ නිරතවන අයෙකි. නමුත් තවමත් 26 වැනි වියේ පසුවන ඇයට එන්නතට හිමිකමක් නැත. දැනට එන්නත ලබාදෙන්නේ වයස අවුරුදු 30 ඉක්මවූ අයට පමණි. Online ලියාපදිංචි වූ ඇය ගාල්ලේ පදිංචි තම වැඩිමහල් සොහොයුරියගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී එන්නත ලබාගත්තාය. මේ එක් අවස්ථාවක් පමණි.

Online  ක්‍රමවලට අප යා යුතුය. නමුත් මේ දක්වා එය ප්‍රායෝගික නොවන බවට සාක්ෂිි බොහාමයක් තිබේ. Online සැබැවින්ම එන්නත හිමිවිය යුතු අයට සිදුවන අසාධාරණය ගැන වගකිව යුත්තෝ කවුරුන්ද ?

ඡායාරූපය Mayukha Perera ගේ facebook Profile එකෙනි

2 COMMENTS

  1. ඇයි ඔය එන්නත ඡන්දය දෙනකොට භාවිතා කරපු විදියට ඡන්ද ලැයිස්තුවට අනුව දෙන්න බැරි?

    ඒ ගැන කාටවත් තවම හිතෙන්නේ නැත්තේ ඇයි?

    එන්නත එක දෙන එක හරියට කරන්න බැරි පකිස්ලන්තයක් ද මේක?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!