spot_img
spot_imgspot_img

ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත් නෑ. වගකිවයුතු අය මෙන්න

පුවත්

විදෙස්

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී සාමාන්‍ය ජනතාව සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනට බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියාය.

මේ වනවිට කොරෝනා රෝගීන් සහ කොරෝනා ආසාදිත මරණ විශාල වශයෙන් වාර්තාවන ගාල්ල දිස්ත්‍රික්කය එම ප්‍රමුඛතා ලේඛනයේ නැත.

එබැවින් ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත ලැබීම අනිකුත් දිස්ත්‍රික්කවලට වඩා ප්‍රමාද වී සිදුවේ. කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් රටේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ කරනු ලබන සංඛ්‍යාත්මක විග්‍රහයන් අනුව මෙම ප්‍රමුඛතා ලේඛන සකසා ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ගාල්ලේ අවදානම අනෙකුත් දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින් ගාල්ල ප්‍රමුඛතාවයේ පහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු අප සමඟ කීවේය.

මෙසේ සිදුව ඇත්තේ ගාල්ලේ කොරෝනා තත්ත්වය පිළිබඳ දිගින් දිගටම වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඒ පිළිබඳ අපි ඊයේ rata.lk වෙබ් අඩවියෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කො‍ට්ඨාසය පමණක් උදාහරණයට ගනිමින් පෙන්වා දුනිමි. ඊට පෙර ද අප මේ පිළිබඳ දැනුම්වත් කර ඇත.

මේ ලියන ලේඛකයාට ගාල්ලේ වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි හමුවී ඔහුගේ කාර්යාලයේ දී ම අත්විදින්නට සිදුවූ අත්දැකීමක් තිබේ. අප ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුර ඔහුට කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ලැබුණු ඇමතුමකට පිළිතුරු දෙමින් ගාල්ලේ සංඛයාලේඛන කිහිපයක් ඉදිරිපත් කළේය. ඔහු කොළඹට දුන් තොරතුරු හා ඒ වනවිට අප සතුව තිබූ තොරතුරු අතර විශාල පරස්පරයක් තිබිණි. ඒ පිළිබඳ ඔහුගෙන් විමසූ විට කියා සිටියේ “කොළඹ ඉන්න අය හිතාගෙන ඉන්නේ අපිට වෙන වැඩක් නෑ.” යනුවෙනි.

ඒ කො‍රෝනා පළමු රැල්ලේ එක් දිනක රෝගීන් පිළිබඳ වාර්තාවයි. ඉන් පසු ගාල්ලේ දෛනික ආසාදිතයන් වාර්තා වීම දෙවැනි රැල්ල අවසන් වී තුන්වැනි රැල්ල ආරම්භවීමෙන් පසුව ද වැරදි ලෙස ගණනය කරන බව අපි දිගින් දිගටම ප්‍රකාශ කළෙමු. වසංගත වේදඥ වෛද්‍ය සිංගාරච්චි ඊට ප්‍රතිචාර දැක්වූයේ අපිට කිසිදු තොරතුරක් නොදී සිටිමිනි. ඔහු සිතා සිටියේ මාධ්‍යයෙන් තොරතුරු වසං කිරීමෙන් තමන් සකසන ව්‍යාජ තොරෙතුරු ඇත්තක් යැයි තහවුරු කරගත හැකිවනු ඇතැයි කියා විය යුතුය.

අවසානයේ දී පළමු රැල්ලේ ගාල්ලේ මරණ 50 ඉක්මවුව ද රජය නිවේදනය කළේ මරණ 06ක් පමණි. ආසාදිතයන් සංඛ්‍යාව ද සිය ගණනකින් අඩු ප්‍රමාණයක් නිල සංඛ්‍යාලේඛනවලට වැටිණි.

සියලු දේ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ හිතුමතයට විය යුතුයැයි තරයේ අදහන දකුණේ ආණ්ඩුකාර විලී ගමගේ ද මේ සියල්ල නොදැක්කා සේ සිටියේය. මාධ්‍යවේදීන් සඳහා තිබූ සුහඳ හමුවේ දී සියයක පමණ මාධ්‍යවේදීන් ඉදිරියේ අප මේ ගැන ප්‍රශ්න කළ විට ඔහු ප්‍රශ්නය මඟ හැරියේය. මාධ්‍යවේදීන්ට කොරෝනා මර්ධන කමිටු රැස්වීම වාර්තා කරන්නට ඉඩ නොදෙන්නේ ඇයිදැයි විමසූ වට ඊට වෛද්‍යවරු කැමැති නැතැයි කීවේය.

අප සතුව නිවැරදි සංඛ්‍යාලේකන හා දත්ත ඇති බව තේරුම්ගත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අප දන්නා හඳුනන නිලධාරීන් පවා වරින් වර ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සිදුවූ මරණ පිළිබඳ තොරතුරු අපෙන් ඉල්ලා සිටියේය. ඒ සෑම අවස්ථාවක දී ම අප දුන් තොරතුරු නිවැරදි බවත් ඊට ස්තූතිවන්ත වන බවත් ඔවුහු පෙරළා කීහ.

අදට ද සෑම දිනකම පාහේ ගාල්ලේ සිදුවන මරණ පිළිබඳ අප සතුව ඇති වාර්තා ආණ්ඩුකාරවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ හෝ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ හෝ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ හෝ නැත. ඒ බවට ඕනෑ තරම් සාක්ෂි අප සතුව තිබේ.

ඊයේ (14) අප තහවුරු කළේ ගාල්ලේ දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු නිලධාරීන් විසින් සහ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය විසින් හිතා මතා අඩු කරන බවයි. සරල භාෂාවෙන් කිවහොත් ගාල්ලේ රෝගීන් නිශ්චිත ප්‍රමාණය කොළඹට නොකියා සඟවන බවයි.

ආණ්ඩුකාරවරයාත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක ඉහළ නිලයක් හොබවන වසංගත වේදඥවරයාත් මේ සංඛ්‍යාලේඛන සඟවන්නේ සහ සැඟවීමට අනුබල දෙන්නේ ගාල්ලේ ප්‍රශ්නයක් නැතැයි කීමටය. ඔවුන් ගාල්ලේ කොරෝනා මර්ධනය කර ඇතැයි රටට උදම් ඇනීමටය.

නමුත් දැන් සිදුව ඇත්තේ කොරෝනා මරණ 90කට වැඩි සංඛ්‍යාවක් සිදුවූ ගාල්ලේ දිනකට රෝගීන් 100ක් පමණ අඩුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ගාල්ලේ කෙ‍ාරෝනා අවධානමකට මැදිව සිටින ජනතාවට එන්නත් ලැබීම ප්‍රමාදවීමයි.

ඇස්ට්‍රසෙනිකා එන්නත ලැබුණු පළමු දිනවලම ගාල්ලේ සෞඛ්‍ය බලධාරීන් තමන්ගේ හිතවත් විදුහල්පතිවරුන්ට සහ ව්‍යාපාරිකයන්ට එම එන්නත ලබාදුන් ආකාරය ද අපි එදා හෙළි කළෙමු. මේ එන්නත් ජාවාරම තවමත් ගාල්ලේ සිදුවෙමින් පවතී. ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා අප සමඟ කියා සිටියේ තමන් ගාල්ලේ මහජන පරීක්ෂකවරුන්ට සහ මහ නගර සභා සේවකයන්ට එන්නතු නොදුන්න ද පුද්ගලික අංශයේ එන්නත ඉල්ලා සිටි අයට දෙවැනි මාත්‍රාවත් ලබා දුන් බවයි. ගාල්ලේ ඇත්තේ එවැනි තත්ත්වයකි.

මේ ජනතාවගේ බදු මුදලින් පඩි ලබමින්, සුඛ විහරණන අත්විදිමින් දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරන පිරිසගේ කෙරුවාවයි. ගාල්ලේ ජනතාවට එන්නත් ලැබීම ප්‍රමාදවීමේ වගකීම දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු පිරිස භාරගත යුතුය.

මේ පිළිබඳ ගාල්ලේ ජනතාව ප්‍රශ්න කළ යුතු කාලය එැළැඹ තිබේ.

1 COMMENT

  1. ගෝනපිනුවල 14දින එක් අයකුද 16දින එක් අයකුද පොසිටිව් වී ඇත.එම තොරතුරු වාර්තා නොවේ.

Leave a Reply to අමරසිංහ Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!