spot_img
spot_imgspot_img

ගංවතුරක පෙරනිමිති. ආරක්ෂාවීමට නම් කළ යුතු දේ

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එබැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව ආරක්ෂාකාරී වන්න යැයි ද නායයාමේ අවදානමක් ඇති ස්ථානවලින් ද ඉවත්වන ලෙස ද මේ වනවිට දැනුම් දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට මහා ගංවතුරක ආසන්නතම අත්දැකීම ඇත්තේ 2017 වර්ෂයේ දී ය.

ගාල්ල දිස්ත්‍රික්කය පුරාම විහිදුණු අතු ගංඟා පද්ධතියකින් සමන්විත ගිං ගඟ දිස්ත්‍රික්කය මැදින් ගලා යයි. ‍ගොන්ගල කන්දෙන් ආරම්භ වී සිංහරාජ මහා වනාන්තරයෙන් මෙන්ම කන්නෙළිය ඇතුළු රක්ෂිත වනාන්තර ගණනාවකින් පෝෂණය වෙමින් ගලා යන ගිං ගඟ මෙරට වැඩිම වේගයෙන් ජලය ගලායන ගංඟාව ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි. මේ නිසාම ගිං ගඟ පිටාර ගලන අවස්ථාවක දී සිදුවන හානිය විශාලය.

දැන් ගිංගඟ පිටාර මට්ටමට ළඟා වී තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට නොකඩවා ඇදහැලෙන මහ වැස්‍ස හේතුවෙන් ගිං ගඟ තම උපරිම ජල ධාරිතාව දරාගෙන වේගයෙන් මුහුද කරා ඇදී යන අතර ඒ අවට සියලුම ජල පෝෂක ප්‍රදේශය ද ජලයෙන් සංතෘප්ත වී තිබේ.

අද (13) උදෑසන 8.30 සිට 4.30 දක්වා ගත වූ පැය 24 දී වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හිනිදුමටය ඒ මිලි මීටර 190කි. හිනිදුම වර්ෂාපතන මානයේ එවන් අගයක් සටහන් වෙද්දී ඕපාත ප්‍රදේශයට ද මහ වැසි ඇදහැලී තිබේ. මේ හේතුවෙන් ගිං ගඟේ ජලපෝෂක ප්‍රදේශ සියල්ල දැන් තමන්ට දරාගත හැකි උපරිම ජල ධාරිතාව දරා සිටින හෙවත් ජලයෙන් සංතෘප්ත බැවින් දැන් වැටෙන සියලු ජලය අතු ගංඟා ඔස්සේ ගිං ගඟටම ගලා බසී. මෙහි ප්‍රතිඵලය වන්නේ ජල මට්ටම වේගයෙන් ඉහළ යාමයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන පරිදි තවමත් ඇත්තේ සුළු ගංවතුර තත්ත්වයකට ළඟා වෙමිනි. මෙය සුළු ගංවතුරක සිට මහා ගං වතුරක් දක්වා වර්ධනය වීමට පැයක ධාරානිපාත වර්ෂාවක් ප්‍රමාණවත් බව 2003 වර්ෂයේ ඇති වූ මහා ගංවතුර සාක්ෂි දරයි. එදා පැයක දෙකක පමණ වැස්සකින් සියලු ගම් බිම් යටවී ගියේය.

වැසි ජලය බැස නොයාම ද බරපතල ගැටලුවකි. මෙරට වාරි පද්ධතියේ අක්‍රමවත් බව මෙන්ම පහත් බිම් ගොඩකිරීම හේතුවෙන් ජලයට රිසි සහ නියමිත මඟ ඔස්සේ යාම මිනිසුන් විසින්ම වළකා දමා තිබේ. මේ නිසා පහත් ප්‍රදේශවල ඇති වගාබිම්, නිවාස, නගර, මහා මාර්ග සියල්ල වැසි ජලයෙන් යටවෙයි. මෙය ගංවතුර නොවේ. ගංවතුර ලෙස හඳුන්වන්නේ ගඟක් පිටාර ගැලීමෙන් ඇතිවන ජල ගැල්මයි. වැසි ජලය බැස නොයා පත්බිම් යටවීම හා ගංවතුර යන දෙකෙහි වෙනස එයයි

පසුගිය 2017 ගංවතුර අවස්ථාවේ දී බද්දේගම හා වක්වැල්ල ප්‍රදේශවල දී ගිං ගඟේ ගංවතුර වළක්වන බැමි හානි සිදුව ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිවිය. බද්දේගම ස්ථාන කිහියකින්ම වෙනදා නොවූ විරූ පරිදි ගංවතුර බැමි තුළින් ජලය කාන්දුවන ආකාරය දක්නට ලැබිණි. මෙහි භයානකම සිදුවීම වාර්තා වූයේ බද්දේගම නගරයෙනි. එදා ඒ සඳහා ස්ථිර පිළියම් යොදන බව පාලකයන් කීව ද පසුගිය වසර 04 ට ම එම පිළියම් යෙදුණේ නැත.

70 දශකයේ මුල් වසර කිහිපයේ ඉදිකරන ලද මේ ගංවතුර බැමි එදා 2017 වර්ෂයටත් වඩා දැන් දුර්වල වී ඇතිවාට සැකයක් නැත. අප ඒ ගැනත් අවධානය යොමු කළ යුතුය.

ස්වභාවික විපත් වළක්වා ගැනීම ඉතා අපහසුය. නමුත් ඉන් සිදුවන ජීවිත හා දේපළ හානිය අවම කර ගැනීමට අපට නොහැකිනම් එය අපේම දුර්වලතාවකි. දැන් ගඟ ඉහත්තාවට (උඩහට) ඇති තරමට වැසි වැටී තිබේ. පළමුව නෙළුව, තවමලම හා හිනිදුම පෙදෙස්වල ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම සිදුවේ. නෙළුවට ගලනවිට බද්දේගමට ගැලුවේ නැතැයි මුව අයා බලා නොසිට මේ ජලය වේගයෙන් පහළට එන බව අප තේරුම්ගත යුතුය.

දැනට ලැබෙන ආරංචි අනුව හිනිදුම හා තවලම ප්‍රදේශවල ජනතාවට පහත්බිම්වලින් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍රවලින් ද දැනුම් දී තිබේ. මේ වනවිට මාර්ග ජලයෙන් යටවී තිබේ. ඉදිරි පැය කිහිපය අතිශය බිහිසුණු මට්ටමක ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ රාත්‍රියේ මහ වැසි ඇතිවිය හැකි බවයි.

මේ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනතුරු පිළිබඳ දැනුම්වත් කිරීමට හැකි සීමාව අවසන් වී ඇත. එබැවින් නිදි යහන තෙත් වී වතුරෙන් යටවන තුරු නොසිට ආරක්ෂාවීම ඔබේ වගකීමකි. ඒ ඔබේ ම, ඔබේ සමීපතයන් වෙනුවෙන් කළ යුතු දෙයකි.

එසේනම් නොපමාව පහත් බිම් වලින් ඉවත්වන්න. බෑවුම් සහිත නායයාමේ අවදානම් ඇති ස්ථානවලින් ඉවත්වන්න. ජලය පිරි ස්ථානයන්හි විනෝද වීමට නොයන්න. මේ ඔබේ ආරක්ෂාවට rata.lk අපි දෙන පණිවිඩයකි.

දැන් ගිං ගඟ පිටාර මට්ටමේය. තවත් වැසි වැටුණහොත් මේ ගිං ගඟ අනුකම්පා විරහිතව ඔබේ ගම්බිම් සියල්ල යට කර දමනු ඇත. මහ ජල කඳක් දැන් එමින් තිබේ.

පෙර සූදානම සියල්ලට වඩා වැදගත් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!