spot_img
spot_imgspot_img

වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලෙන් මූලික අයිතීන් අහිමිවූ ගාල්ලේ පවුලක්

පුවත්

විදෙස්

අපගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි.මමත්, මගේ සැමියාත් දරුවන් තිදෙනාත් ය.

ලොකු පුතා විසි එක් හැවිරිදි ය.2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පරිඝනක විද්‍යාව හැදෑරීමට රුහුණ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා තම අධ්‍යයන කටයුතු ඇරඹෙන තෙක් නිවෙසට වී සිටියි.

දෙවනියා 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසට වී සිටී. ඔහු උසස් පෙළ සඳහා තම  අධ්‍යාපන කටයුතු ආරම්භ කළද,අමතර පංති සඳහා නිවසින් පිට නොයයි. විෂයන් තුනටම දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් පංති පවත්වන අතර ,අප ඒවා පැවැත්වූයේද අපේම නිවසේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අකුරටම අනුගමනය කරමිනි. එනිසා මාර්තු පහළොස්වෙනිදායින් පසු ඔහුද , නිවසින් පිටතට ගොස් නැත.

දරුවන් ගේ පියා තම  කටයුතු සඳහා නිවසින් පිටව යයි. නමුත් ඔහු රාත්‍රිය ගත කරන්නේ මේ ප්‍රදේශයේ ම මදක් දුරකින් පිහිටි අපට අයත් වෙනත් නිවෙසකය. එයට හේතුව ඔහුගේ වැඩපොළ මෙන්ම ඔහුට අයත් සියලු යන්ත්‍රෝපකරණ එම නිවසේම කොටසක තිබීමය. ඒවායේ ආරක්ෂාව සහ ඇතැම් දිනවලට රාත්‍රියේ පවා වැඩ කරන්නට සිදුවීම නිසා ඔහු බොහෝ විට රාත්‍රිය එහි ගත කරයි. කොන්ත්‍රාකරුවකු වන ඔහු දහවලට තම  කටයුතු සඳහා පිටත යන අතර,උදෑසනට සහ රාත්‍රියට ආහාර ගැනීම පිණිස අනිවාර්යයෙන් නිවසට පැමිණෙයි. නමුත් කොවිඩ් වසංගතය පැමිණි පසු, ඔහු නිවසට පැමිණිය ද හැකි තරම් දුරස්ථභාවය රැක ගත්තේ, නිතර පිටතට යන ඔහු හරහා හෝ අපට වෛරසය ආසාධනය නොවනු පිණිසය. එයට ප්‍රබල හේතු දෙකකි.එනම්,  දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගන්නා අයෙකු වන මා සහ, සැත්කම් පහලොවකට මුහුණ දී සිටින cleft lip and pallot රෝගී තත්ත්වක් පැවති දෙවනි පුතා  කොවිඩ් ආසාධිත නොවී විශේෂයෙන් ආරක්ෂා කරගතයුතු බවට ඔහු විශ්වාස කළ නිසාත් ය.

හැකි තරම් ගමන් බිමන් වලින් වැළකී නිවසේ ම සිටි මා ඉඳ හිටක හෝ ගියේ දරුවාගේ පාසලට පමණි. නිවසේ ම කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද, පැමිණෙන පාරිභෝගිකයන් සමග දුරස්ථභාවය රැක ගැනීම ගැන මම විශේෂයෙන් සැලකිලිමත් වුණෙමි.

නිවසින් පිටතට ගිය එකම කෙනා තුන්වෙනි දරුවා ය. ඔහු ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලේ හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර දවසක් හැර දවසක් පාසල් ගියේ ය. පොඩි පුතා පාසල් රැගෙන ගියේත්, ගෙන ආවේත් තාත්තා හෝ ලොකු අයියා විසිනි. එනිසා පොදු ප්‍රවාහන සේවයක් හෝ අප භාවිතා කර නැත.

පොඩි පුතා ගේ ගුරුවරියක ආසාදිත වී ඇති බව අප දැනගන්නේ අප්‍රේල් 26 දා රාත්‍රියේ ය. කරුණු සොයා බලද්දී දැනගත්තේ ඇය  පොඩි පුතා ට අවසානයට උගන්වා ඇත්තේ 19 වනදා බවය. ඇය අනුහස් ගේ පොත අරගෙන නෝට් එක කියවා ඇති බව බව මට දැනුම් දුන්නේ ඔහුගේ හොඳම යාලුවාගේ තාත්තා ය. විමසා බැලීමේදී එය ද සත්‍යයක් බව අනාවරණය විය. ඒ අනුව අප සියලු දෙනාම එතැන් පටන් ස්වයං නිරෝධායනය ඇරඹුවෙමු. දරුවන්ගේ තාත්තා නිවසට පැමිණීම ඒ මොහොතේ පටන් සම්පූර්ණයෙන්ම   නැවැත්තුවේය. අපට  අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනැවිත් තැබූ ඔහු නිවසින් පිටව ගොස් අනෙක් නිවසේ ම රැඳුනි.

අපගේ නිවසට යාබදව වෙනම නිවසක සිටින දරුවන්ගේ ආච්ච්අම්මා (මහත්තයාගේ අම්මා) ද එතැන් පටන් ස්වයං නිරෝධායනය වන්නට පටන්ගත්තේ පොඩිපුතා  දවසේ විවේක කාලයෙන් වැඩිහරිය ගත කරන්නේ ඇගේ තුරුලේ නිසාය.

“දරුවා ට ලෙඩේ හැදිලා නම් සමහරවිට මටත් ඇති. අපි මොකටද තව කෙනෙක් අමාරුවේ දාන්නේ” යැයි ඇය ද කීවා ය.

එතැන් පටන් මේ වනතුරුත් අප නිවසින් පිටතට අඩියක් තැබුවා නම් තැබුවේ පීසීආර් කිරීම සඳහා පමණි.

එතැන් පටන් නිවසට පැමිණෙන්නට උත්සාහ කළ කාටත් අපේ තත්වය පැහැදිලි කර දී මිදුලටවත් නොගෙන ආපසු  හරවා යැව්වෙමු.

අපගේ නිවසට පී එච් අයි මහතා සහ පොලිසියේ මහතෙකු අප්‍රේල් 29 දා පැමිණ අප නිරෝධායනය වන බවට නිල වශයෙන්  දැන්වීමක් අලවා ගියහ. පොඩි පුතා ආශ්‍රිතයෙකු වූ 19 දා සිට මැයි 3 දා දක්වා අප නිරෝධායනය වියයුතු බව එම දැන්වීමේ සඳහන් විය.

නමුත් ඒ වන විට අප සැබෑවටම නිරෝධායනය අරඹා දින තුනකි.

29 දා උදෑසන දහයට පමණ පොඩි පුතාගේ පීසීආර් සඳහා ජෛව සාම්පල ලබාගන්නා ලදී. එය සිදුවූයේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් සිල්වා නම් අයෙකු විසින් දඩල්ල සුසාන භූමිය අසලදී ය. දරුවා කැටුව පා ගමනින් එතැනට පැමිණෙන ලෙස මට කළ දැනුම් දීමකින් පසු මම දරුවා එහි කැටුව ගියෙමි.

යාබද නිවසේ තනිව සිටින දරුවන්ගේ ආච්චි අම්මාගේ නිවසේ දැන්වීම් ඇලවූයේ නැති වුවද, මුල සිටම ඇයත් අප වාගේම නිරෝධායනය වූවාය.

මැයි 03 දා වනතෙක් පොඩි පුතා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ම දවස් ගතවිය. එසේ වුව ද පීසීආර් වාර්තාව ඒ වනතෙක් ලැබී තිබුණේ නැති නිසා නිරෝධායන දැන්වීම ඉවත් කළ නොහැකි බව පී එච් අයි මහතා කීවේය.

පළමු පීසී ආර් ප්‍රතිඵල නොලැබුණ ද මැයි 05 දා නිවස අසළටම පැමිණි තවත් වෛද්‍යවරයෙක් හා හෙදියන් දෙදෙනෙක් දරුවාගේ තවත් ජෛව සාම්පලයක් රැගෙන ගියහ.

29 වැනි දා කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අද වනතුරු මට දන්වා නැත. මැයි 05 වැනි දා කළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ද මෙතෙක් නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් විමසූ විට ඔහු පවසන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දෙන තුරු තමන්ට නිරෝධායන දැන්වීම ඉවත්කිරීමට කිසිදු බලයක් නැති බවයි.

පීසීආර් පරීක්ෂණ පවත්වන රසායනාගාරයට මා හිතවතියකගේ මාර්ගයෙන් කතා කළ විට ඔවුන් පවසන්නේ පරීක්ෂණවල ප්‍රතිඵල ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට යවා ඇති බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රතිඵල ලබාදීම වෛද්‍ය බර්ට්‍රම්ගේ රාජකාරියක් බව ද රසායනාගාරය පවසයි. මට ප්‍රතිඵල දැනගැනීමට හැකිවූයේ නැත.

අද මැයි (13) වැනි දා වනවිට දරුවා ආශ්‍රිතයෙක් වී දින 23 කි.අප නිරෝධායනය වන්නට පටන්ගෙන දින 16 කි. අප සමග පීසීආර් පරීක්ෂණවලට ලක්වී වාර්තා නොලැබුණු අනෙක් අසල්වැසි පවුල් දෙකට ද මේ දක්වාම කිසිදු දැනුම්දීමක් නැත.

“ඔය දැන්වීම ඉරා දමන්නැ” යි  හිතමිත්‍රාදී ඇතැමෙක් මටද උපදෙස් දෙති.

සැබෑවටම මා කළ යුත්තේද එය යයි මටද විටෙකදී සිතේ.

නමුත් මම එසේ නොකරමි.එයට මට යම් හේතුවක් තිබේ.මගේ  වැඩිමහල් පුතුන් දෙදෙනාම තරුණ වයසේ පසුවෙති.

අම්මා වශයෙන් ඔවුන්ට වැරදි ආදර්ශයක් දීමට මම අකමැත්තෙමි. රටේ නීතිය අවනීතිය වී ඇති බව සැබෑය. නමුත් පුරවැසියෙක් වශයෙන් රටේ නීතිය ට පිටින් ක්‍රියා කිරීමේ පාඩම තරුණ දරුවන් වන ඔවුන්ට  කොහෙත් ම දියයුතු නැතැයි මම පෞද්ගලිකව අදහමි.

ඉතිං අපි තවම නිරෝධායනය දැන්වීම යටතේ ය.

මෙම දැන්වීම මාසයක් පැවතියත්,වගකිවයුත්තන්  පැමිණ නීත්‍යානුකූලව  මෙය ඉවත් කරනතුරු අප මෙය ඉවත්කරන්නේ ද නැත.

නිරෝධායන දැන්වීමක් යටතේ හෝ, මේ දිනවල නිවසට වී සිටීමත් අපට ඉටුකල හැකි එක් සමාජ මෙහෙවරක්  බව මම දරුවන් ට පැහැදිලි කර දුන්නෙමි.

එනිසා ඔවුන් කරදර කරන්නේ ද නැත.

අවසාන වශයෙන්, අප ගැන සොයා බැලූ සියලුම දෙනා ආදරයෙන් සිහිපත් කරමින් සටහන අවසාන කරමි.

(Chamila Shyamalie Gamage විසින් තැබූ Facebook සටහනකි)

rata.lk කර්තෘ සටහන

මේ පිළිබඳ විමසීමේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු පවසන්නේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා ඇතුළු වෛද්‍යවරු තිදෙනා ඔවුන්ගේ අභිමතය පරිදි වෙනත් ස්ථානයක කාර්යාලයක් ස්ථාපිත කරගෙන සිටින බැවින් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇති බවයි. එමෙන්ම වෛද්‍යවරු විසින් තමන්ට ලැබෙන පීසීආර් වාර්තා පදනම් කරගත් තොරතුරු පවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දෙන්නේ නැත.

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විමසූ විට වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා පවසන්නේ තමන් මහ නගර සභාවට සේවය කිරීමට බැඳී නැති බවයි. තමන් කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බවත් එබැවින් මහ නගර සභාව යටතේ නොසිට වෙනත් ස්ථානයකට ‍කාර්යාලය ගෙන ගිය බවත් ඔහු පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවය සඳහා එම කාර්යාලයට පැමිණෙන්නේ නම් මේ ගැටලු නිරාකරණය වන බව ද වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා අප කළ විමසීමක දී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!