spot_img
spot_imgspot_img

කරාපිටියේ ‌දොස්තරගේ හොර බෙහෙතට තමන් විකිණී ඇතැයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියයි

පුවත්

විදෙස්

කොරෝනා සඳහා සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් විකුණන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබූ උත්සවයකට තමන් සහභාගී වුව ද එම ඖෂධය ගැන තමන් කිසිවක් නොකී බවත් තමන් කතා කළේ දේශීය වෙදකම ගැන පමණක් බවත් ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ rata.lk වෙබ් අඩවියේ අපි ඔහුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී ය. කොරෝනා සුව කරන ඖෂධයක් සොයගත් බව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන කරගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ අපි එය මුදල් සෙවීමේ මගඩියක් බවත් ඔහු පවසන නිෂ්පාදනය අළෙවි කිරීම නීති විරෝධී බවත් හෙළි කළෙමු.

එම හෙළීකිරීමෙන් පසු වෛද්‍යවරයාගේ හිතවතුන් ශ්‍රීයන්ත මෙන්ඩිස් කලාකරුවාගේ කතාවක වීඩියෝ දර්ශනයක් අප වෙත දිගින් දිගටම යොමුකරමින් පවසන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි කලා කරුවන් පවා පිළිගත් මේ ඖෂධයට අප විවේචන එල්ලකරන්නේ කිසිවක් නොදැන බවයි. මේ හේතුවෙන් අද (07) දහවල් අපි ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාට කතා කළෙමු. ඒ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ තමන් කිසිවක් නොදැන මේ ජාවාරමකට විකිණී ඇති බවයි. ඔහු මෙසේ කීවේය.

“මේ වෛද්‍යවරයා දවසක් මට කොහේ දී හෝ හමුවෙලා හලෝ කිව්වා. ඊට පස්සේ දැන හඳුනාගෙන මා සොයාගනෙ ආවා. එතුමා කලා කරුවන් ගැන පොතක් කරගෙන යන බවත් මා වෙනුවෙන් එහි පිටුවක් වෙන්කරන බවත් කීවා. ඉන් පසු දවසක් මාව සොයාගෙන පැමිණි මේ වෛද්‍යවරයා ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන දේශීය ඖෂධ පිළිබඳ උත්සවයකට මට ආරාධනා කළා. ඒ වනවිට මම මහින්ද දළුපොත මහතා ලියූ දේශීය වෙදකම පිළිබඳ පොතක් අධ්‍යයනය කරමින් හිටියේ. ඉදිරියේ දී විකාශනය වන ටෙලි නාට්‍යයක වෙද මහත්මයකුගේ චරිතයක් මම නිරූපනය කරනවා. ඉතින් මා මේ උත්සවයට සහභාගී වුණා. මට දේශන කරන්න කියලා කීවේ නැහැ. හදිසියේම මට ආරාධනා කළා  අදහස් දක්වන්න කියලා. මම ඒ වෙලාවේ මේ බෙහෙතක් ගැන කිසිම දෙයක් දන්නෙත් නැහැ. මා කතාවක් කළා තමයි. එහි දී මම කතා කළේ දේශීය වෙදකම ගැන. එහි වැදගත් කම ගැන. නමුත් මටත් දැනගන්න ලැබුණා මේ බෙහෙත ප්‍රවර්ධනය කරන්න මම එදා කරපු කතාවේ දර්ශන යොදාගන්නාව කියලා. ඇත්තටම කණගාටුයි. මාවත් විකිනිලා කියා හිතෙනවා. ඇත්තටම  මම කිසිම දෙයක් මේක ගැන දන්නේ නැහැ. ඖෂධ වර්ග හිතුමතයේ විකුණන්න බැහැ කියලා මම දන්නවා. ඒ නිසා මගේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා වරැදි අවබෝධයක් ගන්න එපා. මා කළ කතාව අහන්න. එහි දේශීය වෙදකම ගැනයි කිව්වේ. මම rata.lk වෙබ් අඩවියේ ගිය ලිපියත් කියෙව්වා. ඇත්තටම ඒක කියවලා මේ ගැන මම පුදුම වුණා.”

ශ්‍රියන්ත මෙන්ඩිස් පවසන්නේ තමන් එම උත්සවයට සහභාගී වූයේ වෛද්‍යවරයාගේ ආරාධනයට පමණක් බවයි. අවම වශයෙන් ඒ සහභාගී වීම සඳහා මුදලක් හෝ ප්‍රවාහන පහසුකම් හෝ ලබා නොගත් බවත් මේ බෙහෙත් ව්‍යාපාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු කීවේය.

1 COMMENT

  1. හොඳයි ශ්‍රියන්ත මෙන්ඩිස් මේ බෙහෙත් හොඳ කියලා කිව්වා කියමුකො. ඔහු එහෙම කිව්වා කියල තියෙන වැදගත්කම මොකක්ද? ඕනම ප්‍රසිද්ධ කෙනෙක් කියන බෙහෙත් ආමාශයට ඉවක්බවක් නැතුව දාගන්න ගොන් බහුතරයක් රටේ ඉන්නවා.

Leave a Reply to anula bopitiya Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!