spot_img
spot_imgspot_img

වෛද්‍යවරු රාජකාරිය පැහැර හැරීමෙන් කාන්තාවක් මරුට. ගාල්ල ම අවදානමක

පුවත්

විදෙස්

ගාල්ල නගර සභා සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරු තිදෙනා සේවය පැහැර හැරීම හේතුවෙන් මඩපාතල කාන්තාවක් කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය බවත් තවත් විශාල පිරිසක් අවදානමකට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙලෙස මියගොස් ඇත්තේ මඩපාතල පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. හදිසියේම නිවසේ ඇද වැටී රෝහල්ගත කෙරුණු ඇය කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී ඊයේ (05) රාත්‍රී මියගියාය. මෙම කාන්තාවගේ මරණයේ සම්පූර්ණ වගකීම සේවය නිසි පරිදි ඉටු නොකරන ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍යවරු විසින් භාරගත යුතු බව බොහෝ පිරිසක් චෝදනා කරති.

මෙම කාන්තාවගේ සොහොයුරා දින කිහිපයකට පෙර කොරෝනා ආසාදනය වී මියගියේය. එම මරණය සමඟ ඔහුගේ සමීපතමයන් නිරෝධායනය කර ඔවුන් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමේ කටයුතු සිදුකළ යුතුවන්නේ වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙනි. එම පුද්ගලයාගේ නිවසට මීටර 300ක් පමණ දුරින් සොහොයුරියගේ නිවස පිහිටා තිබේ. සොහොයුරා මියගිය ද වෛද්‍යවරු තම ‍රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙම සොහොයුරියට එම මරණය කොරෝනා මරණයක් බවට නිසි දැනුම් දීමක් කර නැත. එමෙන් ම මියගිය සොහොයුරාගේ නිවසේ ඔවුන් දෙදෙනාගේ මව රෝගීව සිටියි. දෛනිකව මවගේ උපස්ථායක වැඩ සඳහා සොහොයුරියට එම නිවසට යාම පුරුද්දක් ලෙස සිදුකරන්නකි.

වෛද්‍යවරු තම සේවය පැහැර හැරීම හේතුවෙන්, මෙම කාන්තාවගේ නිවස නිරෝධායනය වන නිවසක් ලෙස පුවරුවක් හෝ සවිකර තිබුණේ නැත. කාන්තාවට ද නිසි උපදෙස් නොලැබුණු බැවින් ඇය සොහොයුරාගේ මරණයෙන් පසුව ද තම මවගේ සාත්තුවට ගොස් තිබේ. මේ අතර පසුගිය 03 වැනි දා රාත්‍රී ඇය සිය නිවසේ දී ම ඇද වැටුණාය. 1990 ගිලන්රථයකට ඇමතුමක් ගත්ත ද ගිලන්රථ කාර්ය බහුල බැවින් පැමිණීම ප්‍රමාධ වූ අතර තවත් සොහොයුරකු තම සොහොයුරිය රැගෙන රෝහලට ගියේ ත්‍රී රෝද රථයකිනි. ඇය ඇදවැටෙන විටත් නිරෝධායනය විය යුතු නිවසක් වුව ද අදාල පුවරු සවිකර නොතිබුණෙන් අසල්වැසියෝ ද උදව්වට පැමිණ සිටියහ.

ඊයේ (05) රාත්‍රී ඇය මියගියාය. ඒ කොරෝනා ආසාදනයෙනි.

මෙම මරණය ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මඩපාතල සිදුවූ දෙවැනි කොරෝනා මරණයයි. මඩපාතල යනු විශාල පිරිසක් පදිංචි නගරය සමඟ නිරන්තර ගනුදෙනු කරන විශාල පිරිසක් සිටි ප්‍රදේශයකි. එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය මියගොස් ඇති අතර ගමේ බොහෝ දෙනකු ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ තීරණය වූයේ මේ ගම්මානයේ සියලු දෙනාට පීසීආර් පරීක්ෂණ සිදුකළ යුතු බවයි. නමුත් මේ බව සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පසෙක දමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වුවමනාවට පමණක් කටයුතු කරන වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් ගත්ත ද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත.

තලාපිටියේ මියගිය පුද්ගලයකුගේ දේහය ඉවත් කිරීම ද පැය ගණනක් ප්‍රමාද වූයේ මේ වෛද්‍යවරුන්ගේ අත්තනෝමතික කටයුතු හේතුවෙනි.

රට පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොරෝනා සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකළ ද ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍යවරු ඉඩ දෙන්නේ නැත. ඒ පිළිබඳ විමසූ විට වෛද්‍යවරු පවසන්නේ අපේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ තීරණයක් අනුව එලෙස කරන බවයි. මේ නිසා ගාල්ලේ වැසියන්ට පීසීආර් පරීක්ෂණ අහිමි වී ඇත. ගාල්ලේ කොරෝනා ආසාදිතයන් සිටිනවා දැයි දන්නේ ද නැත.

අපි මේ පිළිබඳ විමසීමට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා සහ වෛද්‍ය සේනානායක දෙදෙනා ඇමතීමට උත්සාහ ගත්ත දුරකථන ප්‍රතිචාර දක්වන්නේ නැත.

මේ සම්බන්ධයෙන් ගාල්ල නගර සභාවේ කොමසාරිස් රනිල් වික්‍රමසේකර ගෙන් විමසූ විට මෙසේ කීවේය.

“ගාල්ලේ වෛද්‍යවරු දැන් නගර සභාවෙන් ඉවත කාර්යාලයකට ගිහින් තිබෙනවා. ඒ සඳහා අනුමැතියක් ලබා දී නැහැ. කාර්ය මණ්ඩලය ඉන්නේ නගර සභාවේ. මේ නිසා කටයුතු නිසි සම්බන්ධීකරණයක් වෙන්නේ නැහැ. මෙතැන ගැටලුවක් තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා ගමේ සියලු දෙනා පීසීආර් කළ යුතුයි කියලා. නමුත් වෛද්‍යවරු දෙදෙනා සම්බන්ධ කරගන්න බැහැ කියලත් කියනවා. මේක බරපතල තත්ත්වයක්. වෛද්‍යවරු මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට පීසීආර් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මා එක් අවස්ථාවක් නියෝගයක් දුන්නා මහජන පරීක්ෂකවරුන්ට පීසීආර් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් පැමිණිලි කරලා තිබෙනවා අනවශ්‍ය නියෝගයක් දුන්නා කියලා. මොන දේ කළත් අපි පළමුවෙන්ම සැළකිලිමත් විය යුතු වෙන්නේ ගාල්ලේ ජනතාවගේ ස‍ෞඛ්‍යය ගැන. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට අමතා මේ පිළිබඳ කරුණු විමසීමට උත්සාහ ගත්ත ද ඔවුන් කිසිවෙකුත් අපගේ දුරකථනවලට පිළිතුරු ලබාදෙන්නේ නැත. නමුත් මේ ප්‍රශ්නකාරී වෛද්‍යවරු හෝ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය හෝ මේ පිළිබඳ යම් පැහැදිල කිරීමක් කරන්නේ නම් අපි එය පළ කිරීමට කටයුතු කරන බව ද දන්වන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!