spot_img
spot_imgspot_img

වැව් හදන්න හමුදාවට සල්ලි දීලා. සල්ලිත් නෑ හදපු වැවකුත් නෑ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා හෝ හදිසි ආපදා අවස්ථාවල දී හෝ ත්‍රිවිධ හමුදාව මැදිහත් වන්නේ නම් රටේ ජනතාවට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති වන්නේ නැත. නීත්‍යානුකූලව අවශ්‍ය කාර්යය නිසි පරිදි ඔවුන් විසින් ඉටුකරනු ඇතැයි අචල විශ්වාසයක් සියලු දෙනා තුළම තිබේ.

රටේ කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයන්හි දී විශේෂයෙන් ම ඉදිකිරීම් කඩිනමින් හා ගුණාත්ක අයුරින් ඉටුකරගැනීමේ අපේක්ෂාවෙන් හමුදාව යොදා ගැනීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතු තත්ත්වයකට පත්ව තිබේ.

මේ ව්‍යාපෘති සඳහා වෙන්වන මුදල් නිසි පරිදි යොදවනවා ද ? ඒ මුදල් වෙනත් අයකු විසින් සැළසුම් සහගතව වංචා කරනවා ද ? නැතිනම් හමුදාව විසින්ම මුදල් අයථා පරිහරණය කරමින් තමන් කෙරෙහි සැකයක් නොමැතිවීමේ වාසිය ගෙන සිදුකළ යුතු කාර්යය පැහැර හරිනවාද ? මේ සියල්ල ගැන නැවත සිතා බැලිය යුතු බව “සිරිසර පිවිසුම” වැඩසටහනේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා හෙළිදරව්වන කරුණු අනුව පැහැදිලි වෙයි.

පසුගිය යහපාලන රජයේ පාලන කාලයේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිරිසර පිවිසුම් වැව් ප්‍රතිසංස්කරණ වැඩසහටන ක්‍රියාත්මක කර තිබිණි. ගොවීන් චෝදනා කරන්නේ මෙම ව්‍යාපෘතිය මගින් මහජන මුදල් කාබාසිනියා කළබවයි.

2017-2021 පස් අවුරුදු සැළස්මක් යටතේ සිරිසර පිවිසුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙයවීමෙනි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා ව්‍යාපෘති කාර්යාලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2018 වසරේ අවසානය දක්වා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකවරයෙකු වන ප්‍රියන්ත ප්‍රේමකුමාර කටයුතු කළේය. පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේරුවිල ආසන සංවිධායකවරයෙකු වු ජයන්ත විජේසේකර ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් පත් කර තිබේ.

සමස්ත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වශයෙන් යුධ හමුදා ඉදිකිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ.එන්.රාමනායක කටයුතු කර ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

වැව් 26 ට මුදල් වෙන් කරලා

ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට අයත් වැව් 26ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිරිසර පිවිසුම ව්‍යාපෘතියෙන් මුදල් වෙන්කර තිබිණි. එම මුදල රුපියල් 338,292,129.72කි. මීට අමතරව 2018 සැප්තැම්බර් මාසයේ දී මෙම ව්‍යාපෘතියේ ඇතැම් අයිතමයන් ප්‍රසම්පාදනය කිරීමේ වගකීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පවරා දී ඇත.

මේ අනුව 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරුවලට අනුව 2018/2019 කාලයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ප්‍රසම්පාදන සිදුකර යන්ත්‍ර හා අමුද්‍රව්‍ය සැපයූ වාරිමාර්ග ව්‍යාපෘති 26ක් තිබේ. ඉන් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර අනෙක් වැව් 03හි ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුව ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

2019-12-31 වැනි දිනය වනවිට වැව් 09ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබෙන බව දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරී එස්.කේ.ඩී.නෙරංජන්2020 පෙබරවාරි 17 වැනි දින යැවූ ලිපියකින් තහවුරු කර තිබේ. අංක  GAT/EST/sirisara/Gen අංක යටතේ මේ ලිපිය ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලේඛන අනුව එම කරුණු පැහැදිලි වුව ද 2017 ජූලි මස 21 වැනි දින 2016 වර්ෂයේ විශිෂ්ඨයන් ඇගයීම සඳහා කන්තලේ ජලාශ්‍ය අසළ පැවැති උත්සවයකට සහභාගී වෙමින් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාව හමුවේ කියා සිටියේ ත්‍රිකුණාමලයේ යටිතල පහසුකම්සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සිරිසර පිවිසුම වැඩ සටහන සඳහා රුපියල් මිලියන 5000ක් හෙවත් රුපයල් බිලියන 05ක් වෙන්කර ඇති බවයි. එම මුදලින් රුපියල් මිලියන 200ක් වැය කර ත්‍රිකුණාමලයේ වැව් 25ක් සංවර්ධනය කර මේ වනවිටත් එම වැව් ගොවියන්ට භාර දී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

මේ බව 2021 ජූළි 21 වැනි දින රූපවාහිනී සේවයේ සහ සිරස රූපවාහිනී සේවයේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘති විකාශ මගින් ද ප්‍රචාරය කෙරිණි.

වැව්වල භාරකාරත්වය ඇත්තේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටය. එබැවින් වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් විමසූ විට පවසන්නේ සිරිසර පිවිසුම වැඩසටහන මගින් ප්‍රතිසංස්කරණය කරන ලද කිසිදු වැවක් යුද හමුදාව විසින් මෙතෙක් තම ආයතයට භාර දී නොමැති බවයි.

වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවක වැඩ අවසන් වූ පසු යුද හමුදා ඉංජිනේරුවන් සහ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි ඉටුවී තිබේ ද යන්න පළිබඳ සොයා බලා නිර්දේශ ලබාදිය යුතුය. ඉන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අදාල මුදල් ගෙවීම සිදුකරයි.

කිතුල්උතුව වැවේ ප්‍රතිසංස්කරණ මුළුමනින්ම අසාර්ථකයි

සිරිසර පිවිසුම යටතේ මොරවැව කිතුල්උතුල වැව ප්‍රතිසංස්කරණය කළ බව පවසයි.

නමුත්, කිතුල්උතුල ගොවිජන සමිතිය පවසන්නේ වෙනස් කතාවකි.  ඔවුන් පෙන්වාදෙන්නේ මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අසාර්ථක බවයි. එම වැවේ පිටවාන මුළුමනින්ම බිඳී ගොසිනි. මේ වනවිට වැවේ වතුර බිඳක් හෝ එකතුවන්නේ නැත. මෙවර යල කන්නය පවා වගාකිරීමට ජලය නොමැතිව ගොවීහු අසරණ වූහ.

කිතුල්උතුව ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ලක්ෂිත ප්‍රදීප් මෙසේ කියයි.

ලක්ෂිත ප්‍රදීප්

“වැවේ රොන්මඩ අයින් කරලා,ඇල මාර්ගය කිලෝ මීටරයක් කොන්ක්‍රීට් කරලා තව සොරොව්වත් හදලා පිටත වානත් අලුත් වැඩියාකරලා බේසම හදනවා කියලා මේ වැඩේ පටන්ගනිද්දී කිව්වා. නමුත් මේ බේසම කඩලම අවුරුද්දක් විතර ගියා නැවත හදනවා කියල කිව්වත් ඒක කියපු හැටියට සිද්ධ වුනේ නැහැ. හමුදාව මේ වැඩේ කරපු නිසා අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. නමුත් අපි මේ ගැන ගොවිජන සේවා එකට පැමිණිලි කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. කිසිම කෙනෙක් ඒ ගැන උනන්දුවක් දැක්කුවේ නැහැ. අන්තිමේ වැවේ පිටත වාන කඩලා යනකම් වැව ගැන බලධාරීන්  හෙව්වේ නැහැ. ඒකෙන්  අපිට වුණේ,යල කන්නේ කුඹුරු කරන්න තිබ්බ වතුර ටිකත් නැති වෙලා ගිය එක.”

හමුදාව වැව හදද්දී ගොවිජනේ නිලධාරීන් කරඇරලා

යුද හමුදාවේ කටයුතු නිසි පරිදි සිදුවේ යැයි ගැමියන්ට ඇත්තේ අචල විශ්වාසයකි. ඒ නිසාම මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාව විසින් සිදුකළ බැවින් ගමේ කිසිවෙකු ඒ ගැන ප්‍රශ්න කළේ නැත. නමුත් ඔවුන් තම පාරම්පරික දැනුම හා අත්දැකීම් උපයෝගී කරගනිමින් වැවේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවස්ථා කිහිපයක් ම විවිධ යෝජනා ඉදිරිපත් කර තිබිණි. නමුත් ඉදිකිරීම් භාරව සිටි හමුදා නිලධාරීන් එම යෝජනා සැළකිල්ලට ගෙන නැත.

ගෝමරන්කඩවල නෙළුම් ගොවි සංවිධානයේ සභාපති පී.ජී.අමරදාස

සිරිසර ව්‍යාපෘති වර්තාවේ සඳහන් වන්නේ වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම වැවේ අයිතිය හිමි ආයතනයේ වගකීමක් බවයි. එහි අයිතිකරුවා වන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ ව්‍යාපෘතියක ක්‍රියාත්මක කරද්දී හෝ එම ව්‍යාපෘතිය අවසන් වී  ගෙවීම් සිදුකරන අවස්ථාවේ දී හෝ නිර්දේශ කිසිවක් ලබා දී නැත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වන්නේ සිරිසර ව්‍යාපෘතිය යටතේ රුපියල් එක්කෝටි හත් ලක්ෂ විසිදහස් පන්සිය පනස් හයක් (රුපියල් 10,720,556.00ක්) කිතුල්උතුව වැව ප්‍රතිසංස්කරණයට වෙන්කර තිබූ බවයි. වැවේ රොන්මඩ ඉවත් කිරීම, පිටත වානේ බේසම ප්‍රතිසංස්කරණය, සොරොව්ව අලුත් වැඩියා කිරීම, කිලෝ මීටරයක පමණ  දුරක් ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ වැව් බැම්ම පස් පුරවා පිඩලි අල්ලා වැවේ ධාරිතාව වැඩිකිරීම යන කටයුතු වෙනුවෙන් එම මුදල වෙන්කර තිබිණි. එහෙත්, වැවේ රොන්මඩ යම් ප්‍රමාණයක් ඉවත් කිරීම සහ වැව් බැම්මට අගලක පමණ පස් තට්ටුවක් දමා තැලීම හැර වෙනත් කිසිවක් සිදු කර නොමැති බවත්, එයද නිසි ප්‍රමිතියකින් ඉටු නොකළ බවත් කිතුල් උතුවේ දමයන්ති දිසානායක පවසන්නීය.

දමයන්ති දිසානායක

“සාමානයෙන් බැම්මට පස් දාන්න කලින් වැව් බැම්ම පඩි පෙල වගේ කපලා ඊට පස්සේ පස් දාලා තලන්න ඕනේ. ඉන් පසු පිඩලි අල්ලන්න ඕනේ. නමුත් මේ වැඩේ එහෙම කළේ නැහැ. මේ වැවේ කරපු වැඩවලට උපරිම ලක්ෂ දහයක් වියදම් වෙන්න ඇති. අපිට තියෙන එකම ප්‍රශ්නේ ඉතිරි සල්ලි ටිකට මොකද වුනේ කියන එක.“ එසේ ලක්ෂිත ප්‍රදීප් එලෙස ප්‍රශ්න කරයි.

පැය ගණනිනුත් හොරාකාලා

සිරිසර ව්‍යාපෘතියට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව තෝරා ගෙන තිබුණ ද එම යන්ත්‍ර ක්‍රියාත්මක කරන පැය ප්‍රමාණය ගණනය කිරීමට හෝ වැඩ අධීක්ෂණයට නිලධාරියකු නොවු බව ගැමියෝ කියති. එමෙන්ම මේ යන්ත්‍ර ක්‍රියාකරුවන් ගැමියන් සමඟ පවසා ඇත්තේ තමන් කසේවය කළ පැය ගණනට වඩා වැඩි පැය ගණනක් මේ යන්ත්‍රවල ධාවන සටහන්වලට යොදා ඇති බවයි.

එමෙන්ම යන්ත්‍රවලින් ඉන්ධන සොරාගැනීම ද ජයටම සිදුකර තිබිණි. මේවා සිදුකරන අය පිළිබඳ නම් හෙළිකළ නොහැකි බව ද තතු දන්නෝ කියති. එය සිදුවන්නේ ආයතන ප්‍රධානීන්ගේ ද දැනුවත් කම මතය. 

හමුදාව තවමත් වැව් භාර දී නැහැ

කිතුල් උතුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී රුපියල් ලක්ෂ 100ක් පමණ අවභාවිතා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතත් ඒ පිළිබඳ පැමිණිලිකිරීමට හෝ පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් නැති බව ගොවිජන සේවා දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එස්. වරුණි අදහස් පවසන්නීය.

“අපි දන්නේ නැහැ මේ වැවට වැය කළ මුදල, යුද හමුදාව තවම මේ වැව් ටික අපිට වැඩ ඉවරයි කියලා භාරදීලත් නැහැ. වැව් ඇස්තමේන්තු කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. වැඩ කළේ යුධ හමුදාව. ඉතින් අපිට මේකට මැදිහත් වීමට අවස්ථාවක් නොලැබුණු නැති නිසා අදහසක් දක්වන්න බැහැ. නමුත්, අපිත් මේ වනවිට විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ මේ ඉදි කිරීම් අසාර්ථකවීම නිසා. අනෙක් කාරණය තමා හමුදාව තවම අපිට මේ වැව භාරදීලත් නැහැ..“

ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවට මේ සදහා මැදිහත්වීමට අවස්ථාවක් නොලද බව දිස්ත්‍රීක් සහකාර කොමසාරිස්වරිය කියා සිටියද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලියුම්කරු ඉල්ලා සිටි තොරතුරු වලට පිලිතුරු ලබා දෙමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කියා සිටින්නේ, 2019.05.13 දිනැති  GAT/EST/SP/Ma3/2019/T/Gen දරන ලිපිය මගින් වැව් අධීක්ෂණ කටයුතු සිදු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්මේන්තුවට දන්වා ඇති බවයි. ඊට අමතරව මෙම ව්‍යාපෘති අධීක්ෂණය සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සහකාර අධ්‍යක්ෂ අයි.යු.කේ.සෙනෙවිරත්න පත්කර තිබු බව ද පවසයි.

මේ අනුව පෙනී යන්නේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුමන හෝ හේතුවක් මත සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් සිරිසර පිවිසුම ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් රැසක අපේක්ෂිත අභිලාෂයන් ඉටුවී නැති බවයි.

යුධ හමුදාවට වෙන්කළ මුදල් ගැන අහන්න එපාලු!

කිතුල් උතුව වැව නැවත ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව වෙත භාරදී නැති බව එස්.වරුණි මහත්මිය කියා සිටියද මේ වන විට නව රජය විසින් ක්‍රියාත්මක කර ඇති  වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ කිතුල් උතුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භකර තිබේ. ඒ වාරිමාර්ග දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙනි. මෙහිදී එම වැව ප්‍රතිසංස්කරණය සදහා සිරිසර පිවිසුම හරහා යුධ හමුදාවට වෙන්  කළ මුදල් සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස වාරිමාර්ග දෙපාර්මේන්තුවේ උසස් නිලධාරියෙකු එහිදී ගම්මුන්ට දැනුම් දී තිබේ.

කිතුල්උතුව – https://goo.gl/maps/Kw6wm9AmPCnkK36c8

ගෝමරන්කඩවල විල්පනාකුලම වැවද සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ අති විශාල මුදල් සම්භාරයක් වැය කර අපේක්ෂිත අරමුණු ඉටු නොවු ව්‍යාපෘතියකි. විල්පනාකුලම වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය, වාන ප්‍රතිසංස්කරණය හා රොන් මඩ ඉවත් කිරීම යන කටයුතු විල්පනාකුලම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ වු අතර, ඒ සදහා වාරිමාර්ග දෙපාර්මේන්තුවේ ඇස්තමේන්තු ගත මුදල වූයේ,  රුපියල් එක් කෝටි අනූහය ලක්ෂයක පමණ මුදලකි.(19,600,000.00) නමුත් යුධ හමුදාවේ ඇස්තමේන්තු ගත මුදලට අනුව වියදම් කිරීමට අපේක්ෂිත මුදල ලෙස රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූහත් දහස් අටසිය විසි තුනක් (17,487,823.85) ලෙස දක්වා තිබේ.

විල්පනාකුලම – https://goo.gl/maps/4dmCiAeGF1oqrcCh9

ගොවිජන සේවා නිර්දේශ නැතිව මුදල් ගෙව්වේ කොහොමද?

මෙම වැවේ ඉදි කිරීම් පූර්ණ වශයෙන් යුධ හමුදා ඉදිකිරීම් ඒකකය විසින් සිදුකර ඇති අතර, විටින් විට වැව අයත් ආයතනය වු ගොවිජන සේවා දෙපාර්මේන්තුව  සිය නිර්දේශ යුධ හමුදාව වෙත නිකුත් කර ඇති බව කියැවේ. එහෙත්, යුධ හමුදා ඉදි කිරීම් ඒකකය විසින් එම නිර්දේශ පිළිබඳ තැකීමක් කර නැති බව ගැමියන්ගෙන් නැගෙන චෝදනාවකි. සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ සෘජු අධීක්ෂක ලෙස කටයුතු කළ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන අන්දමට වැවේ රොන්මඩ ඉවත් කිරීම අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකීම ඇත්තේ, වැව අයත් ගොවිජන සේවා දෙපාර්මේන්තුවටයි. එහෙත්,සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ කිසිදු අධීක්ෂණ කටයුත්තකට හෝ එම ආයතනය සහභාගිකරවා ගැනීමට යුද හමුදාව කටයුතුකර නොමැති තත්වයක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවසාන ගෙවීම් සිදුකර ඇත්තේ කුමන නිර්ණායකයක් මතද යන්න ගැටලුවකි.

විල්පනාකුලම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යුධ හමුදාවට අවශ්‍ය   යන්ත්‍රොපකරණ ඔවුන් සතුව නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර  සූත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් යුධ හමුදාවේ ඇස්තමේන්තුවට අනුව වැඩ කරන පැය ගණනට ගෙවීමේ පදනමින් ප්‍රසම්පාදනය කර සපයා තිබේ

මේ සදහා විවෘත මිළ ගණන් කැදවීමේ පරිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ පුවත්පත් වල 2019.02.20 වන දින භාෂා ත්‍රිත්වයෙන් දැන්වීම් පළකර ඒ සදහා වු අයදුම්පත් තාක්ෂණික අගයුම් කමිටුවක් හරහා සලකා බලා ඒ මත ප්‍රසම්පාදන තීරණ ගෙන ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ එවකට පරිපාලන නිලධාරි එස්.කේ.නෙරංජන් මහතා පවසයි. GAT/EST/SP/Ma3/2019/T/Gen හා 2019.05.13 දිනැති ලිපිය මගින් වැව් අධීක්ෂණ කටයුතු සිදු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්මේන්තුවට දැනුම් දී ඇති බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි සිදුවී නෑ.

විල්පනාකුලම වැවේ   ප්‍රතිසංස්කරණ කටයුතු 2019.12.31 වන දින නිම කර, වැව අයත් ආයතනය වන ගොවිජන සේවා දෙපාර්මේන්තුවට භාර දීමට නියමිතව පැවතියද, අපේක්ෂිත අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීම හේතුවෙන් මේ වන තුරුත් වැව භාර ගැණීම තම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව ගොවිජන සේවා දෙපාර්මේන්තුවේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එස්.වරුණි කීවාය.

ගෝමරන්කඩවල කන්දමලාව වැව ද යුධ හමුදා ඉදිකිරීම් ඒකකයේ තවත් මතභේදයට තුඩුදුන් ව්‍යාපෘතියකි. කන්දමලාව වැවේ පිටත වාන වාරිමාර්ග දෙපාර්මේන්තුවේ හෝ ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවේ අනුමැතියකින් තොරව අඩියක් ඉස්සීම හේතුවෙන් මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රලපනාව, බෙල්ලක්කඩවල වැව් යටතේ පෝෂණය වන කුඹුරු අක්කර 40 ක් පමණ යටවීමේ අවධානමට ලක්වු බව ගෝමරන්කඩවල නෙළුම් ගොවි සංවිධානයේ සභාපති පී.ජී.අමරදාස පවසයි.

කන්දමලාව වැවේ පිටත වාන

සිරිසර පිවිසුම යටතේ කන්දමලාව වැවේ පිටතවාන ඉස්සීමට යෝජිත නොවුනද, වාන අලුත් වැඩියා කිරීමට රුපියල්  විසිහය ලක්ෂ අසූහත් දහස් පන්සිය පනස් තුනක (2,687,553.00) මුදලක් ඇස්තමේන්තු කර තිබු බව ත්‍රිකුණාමලය ගොවිජන දෙපාර්තමේන්තුව තහවුරු කරයි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවස්ථාවේ ප්‍රාදේශීය දේශපාලන මැදිහත්වීමක්  මත යුද හමුදා ඉදිකිරීම් ඒකකය කන්දමලාව වැවේ පිටත වාන අඩියක ප්‍රමාණයක් අවධිමත් ලෙස ඉස්සීමට එරෙහිව නෙළුම් ගොවි සංවිධානය හා මහසෙන් ගොවි සංවිධානය අධිකරණයේ පිහිට පැතු අතර, අවසානයේ අවධිමත් ඉදි කිරීම් සිදුකළ පිටත වාන අඩි තිහක පමණ ප්‍රමාණයක් නැවත කඩා ඉවත් කිරීමට යුද හමුදාවට ම සිදුවිය. ඒ තුළින් සිදුවු මහජන මුදල් නාස්තිය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත්, ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බලා පියවර ගත යුතු බවත් පී.ජී.අමරදාස වැඩි දුරටත් කියා සිටි.

හමුදාව පිටින් තියලා වෙන පිරිසක් ගහපු ගේමක්ද?

ගෝමරන්කඩවල කොට්ඨාසයටම අයත් කුරුදුගම සහ ඔට්ටිච්චාකුලම් වැව් දෙක සදහා සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ, රුපියල් කෝටි හයාමාරකට  අධික(65,276,331 ) සුවිශාල මුදල් ප්‍රමාණයක් වැය කර ඇතත්, අපේක්ෂිත ප්‍රතිලාභ කිසිවක් ඒ තුළින් ඉටුවී නැති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති එච්.එම්.සුගත් රාමනායක පෙන්වා දෙයි.

“කුරුදුගම වැවේ සොරොව් දෙක හදලා නැහැ. බන්ට් එකට පස් දාලා තලනවා කියලා කිව්වට ඒක කරලත් නැහැ. වාන උස්සලා ජල ධාරිතාව වැඩි කරලා තව අක්කර 150 වගා කරන්න හදලා දෙනවා කිව්වට තවමත් අර කලින් කරපු කුඹුරු ටිකම තමා කරන්නේ. මෙතන තියෙන්නේ, මම දකින විධිහට තාක්ෂණික ප්‍රශ්නයක්. මේ තරම් මුදලක් වියදම් කරලත්,වැඩිපුර එක අක්කරයක්වත් අස්වද්දන්න බැරි වුණා කියන්නේ,මේ ව්‍යාපෘතිය සම්පූර්ණම අසාර්ථකයි කියන එක. මේ සිදුවෙච්ච මුදල් නාස්තිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කළ යුතුයි. අපිට සැකයක් තියෙනවා, මේක හමුදාව පිටින් තියලා වෙන පිරිසක් ගහපු ගේමක්ද කියලා.“

සිරිසර පිවිසුම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොටඨාසයට අයත් ඉදි වැව සම්බන්දයෙන්ද ගොවීන්ට ඇත්තේ, බරපතල ගැටලු රාශියකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී අදහස් දැක්වු ඉදි වැව ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.දීපානි යුධද හමුදා ඉදි කිරීම් ඒකකයට චෝදනා කරමින්  කියා සිටියේ යුද හමුදාව තම වැව ප්‍රතිසංස්කරණය කළා නොව තිබුණ වැවත්  විනාශ කර ඇති බවයි. තම වැවට කෝටියක මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කළ වැවේ සොරොව්ව බිදී යාමට ආසන්න බවත්, වෙනත් වැවක රොන් මඩ තම වැවේ බැම්මට යෙදීම තුළ මේ වන විට වැව් බැම්ම බරපතල අවදානමකට මුහුණ දී තිබෙන බවත් ඇය කියා සිටි.

කච්චේරියේ  නිලධාරිනුයි, හමුදාවේ මහත්වරුයි එකතු වෙලා වංචා කරලා

“දැන් බලාගෙන ගියහම නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමා වෙලා තියෙන්නේ. හමුදාවට වැඩක් භාර දෙන්නේ, අඩු වියදමකින් කරන්න. නමුත්, අපේ වැවට පාස් වුණු සල්ලි කච්චේරියේ ඉහල නිලධාරිනුයි,හමුදාවේ මහත්වරුයි එකතුවෙලා වංචා කරපු බව අපි බය නැතිව කියනවා.“ එස්.ඩී.දීපානි පවසන්නීය.

ප්‍රතිසංස්කරණය කරන ලද බව කියන වැව් දහයකින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, මොනයම් හෝ ව්‍යාපෘතියක් හරහා එම වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට සහන සැලසීම තම අරමුණ බවත්  වත්මන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල පවසයි. ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් කිරීමට කාලයක් ගත වන බව පෙන්වා දෙන  ඔහු පරීක්ෂණ සිදුකර කාලය වැය කිරීමට වඩා මෙම වැව් වෙනත් ව්‍යාපෘතියක මුදල් යොදවා හෝ කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතුයැයි ද පවසයි.

දිසාපති සමන් දර්ශන පාඬිකෝරාළ

මෙම කරුණු සම්බන්ධයෙන් එම ව්‍යාපෘතියේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රේමකුමාරගෙන් කළවිමසීමේදී ඔහු කියා සිටියේ, පටු දේශපාලන හා මතවාදී  අරමුණු ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය අඩාල කිරීමට කටයුතු කළේ, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ පසුව  ජනාධිපති ලේකම්  ලෙස ද  කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා බවයි.

ප්‍රියන්ත ප්‍රේමකුමාර

තමා විසින් වසර විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැව් පද්ධතිය සම්බන්දයෙන් සිදුකළ පර්යේෂණයක් මගින් සැකසු මෙම පස් අවුරුදු වැඩ පිලිවෙලට  2017 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අනුමැතිය හිමිවු බවත් ඒ සදහා ජනාධිපතිවරයා  රුපියල් බිලියන පහක මුදලක් වෙන් කල බවත් ප්‍රියන්ත ප්‍රේමකුමාර පවසයි.

ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල පී.බී.අබේකෝන් සහ හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා, ආරක්ෂක ලේකම් කරුණාසේන කොඩිතුවක්කු විශාල දායකත්වයක් ලබා දුන්න ද, එවකට නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතියට අකුල් හෙලු බව හෙතම පවසයි. 2018 වසරේදී ජනාධිපති ලේකම්වරයාගේ හදිසි ඉල්ලා අස්වීම හා ආරක්ෂක ලේකම්වරයාගේ හා යුද හමුදාපතිවරයාගේ වෙනස්වීම මෙම ව්‍යාපෘතිය අඩාල කිරීමට  බලපෑ බව ඔහු පවසයි.

අනතුරුව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වු ඔස්ටින් ප්‍රනාන්දු මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩාල කර එම මුදල් උතුරට ලබාදීමට රහසිගත වැඩ සටහනක් දියත් කළ බවත්, එතකින් නොනැවතී සිරිසර පිවිසුම හරහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැව් ප්‍රතිසංස්කරණය සදහා ඉතිහාසයේ ලැබුණු විශාගතම මුදල වු  රුපියල් බිලියන පහක් ගෙන ආ තමාට එරෙහිව බරපතල මූල්‍ය වංචා චෝදනා ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතියෙන් තමා ඉවත් කර, ඒ සදහා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඔහුට හිතවත් අයෙකු 2018 වසරේ මැද භාගයේදී   පත් කර එවීමට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කටයුතු කළ බව  ප්‍රියන්ත ප්‍රේමකුමාර නගන චෝදනාවකි.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු දැක්වූයේ මෙවන් අදහසකි.

ඔස්ටින් ප්‍රනාන්දු

“වැව් ව්‍යාපෘතිය සම්බන්දයෙන් විවිධ වංචා දූෂණ හා අවධිමත් ලෙස කටයුතු කිරීම් වාර්තා වූ නිසා මට සිද්ධවුණා ඒක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ඒ සදහා සුදුසු නිළධාරියෙකු පත් කිරීමට. ඒ අනුව මම ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අතිරේක ලේකම්වරයෙකු ඒ සදහා පත් කරනු ලැබුවා. මේ ව්‍යාපෘතියට එරෙහිව පරිසර වාර්තා පැහැර හැරීම්, අවසරයකින් තොරව ගල්කෝරි පවත්වා ගෙන යෑම් වගේම වංචා දූෂණත් වාර්තා වූ නිසයි මම එවැනි තීරණයක් ගනු ලැබුවේ.ඒ මුදල් මම උතුරට යැව්වා හෝ යවන්න උත්සහ කරා කියන එක අමූලික බොරුවක්. මේ මුදල් වියදම් කල හැක්කේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල පමණයි. මේ මුදල් උතුරට යවන්න උත්සාහ ගත්තා කියන්නේ මේ ප්‍රශ්න වෙනත් මානයකට යොමු කිරීමට විය හැකියි. යනුවෙන් කීවාය.

මේ ගැන විමසීමට යුද හමුදා ඉදි කිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ.එන්.රාමනායක සම්බන්ධ  කරගැනීමට කිහිප අවස්ථාවකදීම උත්සහ කළද එය අසාර්ථක විය. අනතුරුව දැඩි උත්සහයකින් පසු එහි තවත් ආරම්භක නිලධාරියෙකු වු කර්නල් බෝපෙආරච්චි සම්බන්ද කරගැනීමට හැකිවුවද කර්නල් බෝපෙආරච්චි කියා සිටියේ තමා මේ වන විට එම ව්‍යාපෘතියෙන් වෙනත් ව්‍යාපෘතියකට මාරු කර ඇති බැවින් ඒ සම්බන්දයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.

සිරිසර පිවිසුම සම්බන්ධයෙන් සකසා තිබූ වීඩියෝවක්

https://web.facebook.com/PresidentNews/videos/310342422871507/?_rdc=1&_rdr

යුද හමුදාව කෙරෙහි අප තුළ ඇත්තේ, ගෞරව සම්ප්‍රයුක්ත ආදරයකි. කැමැත්තකි. තිස් පස් වසරක යුද්ධය නිමා කිරීමට ජීවිත මෙන්ම අත් පාද අහිමි කර ගනිමින් ඔවුන් දැක්වු  කැප කිරීම අති මහත්ය. එවන් අභිමානවත් පිරිසක කෙරෙහි ඇති විශ්වාසය සහ අභිමානය අප අතරින් හීනවී යාමට කවර හෝ පාර්ශවයක් කටයුතු කරන්නේ නම් එය අභාග්‍යකි.

වැව් හා වාරි කර්මාන්තය වැනි වැනි රටේ තීරණාත්මක සංවර්ධන ව්‍යාපෘති වලදී අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද නොසලකා හැර හමුදාවට අධිකාරීමය බලයක් ලබාදී දේශපාලන ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට උත්සාහ කිරීම එතරම් උචිත නොවන්නක් බවත්, ඒ තුලින් සිදුවනුයේ යුද හමුදාව පිළිබඳ ඇති ගෞරවය හීන වී යාම බව කිව යුතුය.

මංගලනාත් ලියනාරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!