කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි

0
65

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම් දී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කසළ අපනයනය හා ආනයනය සම්බන්ධයෙන් ඇති ”බාසල් ජාත්‍යන්තර සම්මුතිය” ට අදාල නියමයන් මෙම කසළ ගෙන්වීමේ දී කඩකර ඇති බැවින් එම වන්දි මුදල ඉල්ලා නියමිත ක්‍රමවේදයට අනුව බාසල් සම්මුති ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් 1,694,274,751.00 කි. (රුපියල් එකසිය හැටනම කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් හත්සිය පනස් එකකි.)

2017-2018 වර්ෂවල දී බාසල් සම්මුතිය කඩකරමින් කසළ බහාලුම් 263ක් මෙරටට ගෙන්වා ඇති අතර පෞද්ගලික සමාගමක් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ අංගනයක ඉන් බහාලුම් 130 ක් රඳවා ඇති අතර තවත් බහාලුම් 133ක් කොළඹ වරාය අංගනයක රඳවාගෙන තිබිණි. ඉන් බහාලුම් 21ක් පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දින එක්සත් රාජධානිය වෙත ආපසු යැවීමට කටයුතු කර තිබිණි. තවත් බහාලුම් 112ක් පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම නැවත යැවීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග කටයුතු කරමින් සිටින බව ද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

බාසල් සම්මුතියට අනුව ‍රටකින් තවත් රටකට කසළ යැවීමට හෝ ගෙන්වීමට හැකිවන්නේ රටවල් දෙකෙහිම කැමැත්ත ඇත්නම් පමණි. මෙම කසළ මෙරටට එවා ඇත්තේ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු විසින් මෙරට ජීවත්වන තම සහෝදරයාගේ උදව් ඇතිව බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද එම නිවේදනයේ දක්වා ඇත.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ බාසල් සම්මුති ලේකම් කාර්යාලයට මෙයට අදාල පැමිණිල්ල කරන ලද්දේ ඊයේ (06) වැනි දින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here